මාතර ප්‍රදේශයේ සිදුවූ බව කියන ඉඩම් ගනුදෙනුවකට අදාළ නඩුවකට අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙන්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු ජාතික සංවිධායක මෙන්ම හිටපු අමාත්‍යවරයකු වන බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කරන ලෙස නිකුත් කර තිබූ වරෙන්තුව නැවත දීර්ඝ කිරීමට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා ඊයේ (21) පියවර ගත්තේය. හිටපු අමාත්‍යවරයා මෙලෙස අධිකරණය හමුවේ පෙනී නොසිටි දෙවන අවස්ථාව මෙය වේ.
අයථා ලෙස උපයාගත් බවට සැකකෙරෙන රුපියල් මිලියන 60ක මුදලක් යොදවා මාතර, බ්‍රවුන්ස් හිල් (එළියකන්ද) ප්‍රදේශයෙන් අක්කර එකහමාරක පොල් ඉඩමක් මිලදී ගැනීමේ සිද්ධියක් මුල් කරගනිමින් මෙම නඩුව පවරා ඇත. නඩුව කැඳවූ පෙර අවස්ථාවේදී ද සැකකරු නොපැමිණීම නිසා මෙලෙස වරෙන්තු නිකුත් කෙරිණි. මේ අතර, හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් ඇප තැබූ ඇපකරුවන් සිව්දෙනාට අවවාද කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට අපොහොසත් වන්නේ නම් ඇප මුදල් රාජසන්තක නොකිරීමට හේතු දක්වන ලෙසට තරයේ දැනුම් දුන්නේය.
පෙරවරු 10.00 ට පමණ නඩුව කැඳවූ අවස්ථාවේදී මූල්‍ය අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් සමඟ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ නාලක කොතලාවල මහතා කරුණු දක්වමින් කියා සිටියේ, මෙම නඩුවේ තෙවන සැකකරු වන බැසිල් රාජපක්ෂ මහතා වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් දිගින් දිගටම අධිකරණය මඟහැරීමට කටයුතු කරන බවයි. දැන දැනම සිදුකරන මෙම මඟහැරීම හමුවේ ඔහුට එරෙහි වරෙන්තුව තවදුරටත් දීර්ඝ කරන ලෙස ද රජයේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
ඊට පිළිතුරු දෙමින් සැකකාර හිටපු අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, තම සේවාදායකයා අධිකරණය මඟහැරීමේ කිසිදු අභිප්‍රායකින් පසුව නොවන බවයි. ඔහු විදේශගතව වෛද්‍ය ප්‍රතිකාර ලබන බවත්, සෞඛ්‍ය තත්ත්වය යහපත් වූ වහාම අධිකරණය හමුවේ පෙනී සිටීමට සූදානම් බවත් සඳහන් කළ ජනාධිපති නීතිඥවරයා, අදාළ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් නිකුත් කර ඇති වරෙන්තුව ඉවත් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
මෙහිදී දෙපාර්ශවයේම තර්ක විතර්ක මෙන්ම නීතිපති දෙපාර්තමේන්තුවේ කරුණු දැක්වීම්වලට විත්තිය දැක්වූ දැඩි විරෝධය ද සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේ, තෙවන විත්තිකරු අධිකරණයේ පෙනී නොසිටින තාක් වරෙන්තුව අවලංගු කිරීමට අධිකරණයට බලයක් නොමැති බවයි. වසර 11ක් තිස්සේ විභාග වන මෙම නඩුවේ තෙවන සැකකරු වන බැසිල් රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුව මෙලෙස දෙවන වරටත් දීර්ඝ කළ මහේස්ත්‍රාත්වරයා, ඊළඟ නඩු දිනයේදී ලිඛිත දේශන ඉදිරිපත් කරන ලෙසත් සැකකරුගේ සියලු වෛද්‍ය වාර්තා සපයන ලෙසත් විත්තියේ නීතිඥයින්ට නියෝග කළේය. මෙම නඩුවේ පළමු, දෙවන සහ තෙවන විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් ද සිල්වා මහතා ඇතුළු නීතිඥවරුන් නවදෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් පෙනී සිටියහ.