අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනෙවිය කොළඹ පිහිටි හෝටලයක පැවැති උත්සවයකට සහභාගි වීමට පැමිණි අවස්ථාවේදී, ඇයගේ පැමිණීම දුරදක්නයක් ආධාරයෙන් නිරීක්ෂණය කළ බව කියන පුද්ගලයන් තිදෙනෙකු මෙම මස 22 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කර තිබේ.
කොම්පඤ්ඤවීදිය පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ මෙම සැකකරුවන් තිදෙනා අතුරින් දෙදෙනෙකුම සහෝදරයන් වන අතර, ඔවුන් කින්නියා සහ මොල්ලිපෝතාන ප්‍රදේශවල පදිංචිකරුවන් වන බව පොලීසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දී ඇත.
කෙසේ වෙතත්, සැකකරුවන් පදිංචි වී සිටින නිශ්චිත ස්ථාන පිළිබඳව මෙතෙක් කරුණු අනාවරණය වී නොමැති බව පොලීසිය අධිකරණය හමුවේ පැවසීය. මොවුන් කොළඹ ප්‍රදේශයේ රැකියාවල නිරත වන බව ප්‍රකාශ කළද, දැනට කොළඹ රැඳී සිටින නිශ්චිත ලැගුම්හලක් හෝ ස්ථානයක් පිළිබඳව මෙතෙක් අනාවරණය කර නොමැති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම සැකකරුවන් දුරදක්නයක් භාවිත කරමින් අදාළ නිරීක්ෂණය සිදුකරන අයුරු සොයාගෙන ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකාය මගිනි. ඔවුන් මෙම නිරීක්ෂණ ස්ථානය වෙත පැමිණ ඇත්තේ කිලෝමීටර එකහමාරක පමණ දුරක් ගෙවාගෙන බවද හෙළි වී තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ පරීක්ෂණයක් පවත්වා ඊට අදාළ සම්පූර්ණ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් කොම්පඤ්ඤවීදිය පොලීසියට නියෝග කර ඇත.