
දැනට දිවයින පුරා පවතින ඩෙංගු ව්‍යාප්තියත් සමඟ කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලට ප්‍රතිකාර සඳහා පැමිණෙන ළමුන්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බව එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර මහතා පවසයි. පවතින අධික රෝගී තදබදය හමුවේ දරුවන්ට කඩිනම් සහ විධිමත් වෛද්‍ය සේවයක් ලබා දීම තහවුරු කිරීම සඳහා දෙමාපියන්ගේ සහ භාරකරුවන්ගේ සහයෝගය අත්‍යවශ්‍ය වී තිබේ.
ඒ අනුව දරුවන් ප්‍රතිකාර සඳහා හෝ සායනික කටයුතු සඳහා රෝහල වෙත රැගෙන එන සෑම අවස්ථාවකදීම ළමා සෞඛ්‍ය සංවර්ධන සටහන් පොත, බර සටහන් කරන පොත, පුද්ගල සෞඛ්‍ය අංකය හෝ බාර්කෝඩ් කාඩ්පත, ඖෂධ හා ආහාර අසාත්මිකතා පිළිබඳ තොරතුරු මෙන්ම සායනික සටහන් පොත්, රෝහලෙන් පිටවීමේ කාඩ්පත් හෝ රෝග විනිශ්චය කාඩ්පත් යන ලියකියැවිලි පහ අනිවාර්යයෙන්ම රැගෙන එන ලෙස රෝහල් අධ්‍යක්ෂවරයා ඉල්ලා සිටියි. මහජනතාවගේ පූර්ණ සහාය මේ සඳහා අපේක්ෂා කරන අතර වැඩිදුර තොරතුරු අවශ්‍ය වන්නේ නම් රිජ්වේ ආර්යා ළමා රෝහලේ අධ්‍යක්ෂ කාර්යාලයේ 011 2693711 (දිගුව: 307) දුරකථන අංකය ඔස්සේ ලබාගත හැකිය.
මේ අතර දිස්ත්‍රික්ක තුනක් හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලින් වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාවේ යම් අඩුවීමක් දක්නට ලැබුණද, රෝග අවදානම තවමත් සම්පූර්ණයෙන්ම පහව ගොස් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි. අගෝස්තු මස මැද භාගය දක්වා තවත් සති තුනක පමණ කාලයක් මෙම අවදානම් තත්ත්වය පවතිනු ඇති බවට අමාත්‍යවරයා පෙන්වා දෙයි.
කොළඹ ඇතුළු දිස්ත්‍රික්ක රැසක රෝගී සංඛ්‍යාව මෙලෙස පාලනය වීමට මහජනතාව දැක්වූ දැඩි උනන්දුව හේතු වූ බව සතිපතා පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා පැවසීය. පරිසරය පිරිසිදු කිරීම සඳහා එක් දිනක නිවාඩුවක් ප්‍රකාශයට පත් කිරීමෙන් පමණක් ඩෙංගු ව්‍යාප්තිය මැඩපැවැත්විය නොහැකි බවත්, නිවාස ඇතුළත පවා අවධානයට ලක් නොවන ස්ථානවල මදුරුවන් බෝ විය හැකි බවත් හෙතෙම අවධාරණය කළේය.
නිරිතදිග මෝසම් වැසි තත්ත්වය සමනය වන තෙක් මදුරුවන් බෝවන ස්ථාන ධූමායනය කිරීම සඳහා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සහාය ලබාගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටින අමාත්‍යවරයා, මෝසම් කාලගුණය අවසන් වීමෙන් පසුව මෙම ඩෙංගු ගැටලුව සඳහා කඩිනම් ස්ථිර විසඳුමකට එළඹිය යුතු බවද වැඩිදුරටත් ප්‍රකාශ කළේය.