අපරාධකරුවන් හඳුනා ගැනීම පිළිබඳව විශේෂ පුහුණුවක් ලබා ඇති, නෙදර්ලන්තයෙන් මෙරටට රැගෙන ආ 'ලුසී' නමැති පොලිස් නිල සුනඛ දෙන මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේදී පැටවුන් අට දෙනෙකු බිහි කර තිබේ. මෑත ඉතිහාසය තුළ අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සුනඛ දෙනක එකවර පැටවුන් අට දෙනෙකු ප්‍රසූත කළ පළමු අවස්ථාව මෙය ලෙස සටහන් වන අතර, මෙය ලුසීගේ ද පළමු ප්‍රසූතිය වෙයි.
මෙම ප්‍රසූතියේදී ඇය ගැහැනු පැටවුන් පස් දෙනෙකු සහ පිරිමි පැටවුන් තිදෙනෙකු මෙලොවට බිහි කර ඇති අතර, එම පැටවුන් සියලු දෙනාම ඉතා නිරෝගී සුවයෙන් පසුවන බව පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ නිලධාරියෙක් තහවුරු කළේය. මෙම නවක සුනඛ පැටවුන්ට මාස හයක කාලයක් සපිරුණු පසු, අපරාධකරුවන් කොටු කර ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම් වැටලීම සහ පුපුරණ ද්‍රව්‍ය සෙවීම වැනි විශේෂිත රාජකාරි සඳහා අවශ්‍ය විධිමත් පුහුණුව ලබා දීමට නිලධාරීන් මේ වන විටත් කටයුතු සූදානම් කර ඇත.
දැනට තම පැටවුන් දැඩි සෙනෙහසින් රැකබලා ගන්නා ලුසීට, ඔවුන් සමඟ කාලය ගත කිරීම සඳහා ඉදිරි මාස දෙකක කාලය වෙන් කර දී තිබේ. ඒ අනුව එම කාලසීමාව තුළ ඇයව අපරාධ විමර්ශන මෙහෙයුම් සඳහා යොදා නොගන්නා අතර, මාස දෙක නිම වීමෙන් පසු නැවතත් විශේෂ පුහුණුවක් ලබා දී ඇයව සුපුරුදු රාජකාරි කටයුතු සඳහා අනුයුක්ත කිරීමට නියමිතය.
පසුගිය 2024 වසරේදී නෙදර්ලන්තයේ සිට මෙරටට රැගෙන ආ සුනඛයන් 35 දෙනාගේ කණ්ඩායමට මෙම ලුසී සුනඛ දෙන ද ඇතුළත් වූවාය. දැනට තම පැටවුන් කෙරෙහි දැඩි ආරක්ෂක පිළිවෙතක් අනුගමනය කරන ඇය, සහකාර පොලිස් අධිකාරී පශු වෛද්‍ය අමල් දසනායක, පශු වෛද්‍ය ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක තිලකරත්න සහ ඇයව හසුරුවන පොලිස් කොස්තාපල් දිනිඳු කුමාර (104983) යන මහත්වරුන්ට හැර වෙනත් කිසිදු පොලිස් නිලධාරියෙකුට පැටවුන් සිටින ස්ථානයට ළඟා වීමට ඉඩ නොදීම විශේෂත්වයකි.