
ඇප මුදල් තැන්පත් කිරීමට සහ නියම වූ දඩ මුදල් ගෙවීමට නොහැකි වීම හේතුවෙන් රැඳවියන් 3,371 දෙනෙකු වසර ගණනාවක් තිස්සේ බන්ධනාගාර තුළ නිකරුණේ රැඳී සිටින බව ජාතික විගණන කාර්යාලයේ අලුත්ම වාර්තාවකින් අනාවරණය වේ. බන්ධනාගාර පද්ධතිය තුළ පවතින අධික තදබදයට ද මෙම තත්ත්වය ප්‍රධාන ලෙස බලපා ඇති බව එම වාර්තාව මගින් පෙන්වා දී ඇත.
එක්රැස් වූ තොරතුරුවලට අනුව දඩ මුදල් ගෙවා ගැනීමට නොහැකි වීමෙන් බන්ධනාගාර 28 ක සිරකරුවන් 1,940 දෙනෙකු පසුවන අතර, ඇප මුදල් ගෙවීමට නොහැකි වීමෙන් බන්ධනාගාර 21 ක සිටින රැඳවියන් සංඛ්‍යාව 1,431 කි. මෙලෙස නිදහස් වීමට නොහැකිව දැඩි පීඩනයට පත්වන පිරිස් බන්ධනාගාර අරගල සඳහා මූලිකත්වය ගෙන කටයුතු කරන බව ද තොරතුරු වාර්තා වී තිබේ.
මෙලෙස නිකරුණේ බන්ධනාගාරගතව සිටින පිරිසගේ ආහාරපාන ඇතුළු පහසුකම් වෙනුවෙන් රජයට වාර්ෂිකව විශාල මුදලක් වැය කිරීමට සිදුවන බව බන්ධනාගාර ප්‍රධානීහු සඳහන් කරති. එමෙන්ම ඇප නියම වී මාස පහකට වැඩි කාලයක් තිස්සේ බන්ධනාගාරගතව සිටින රැඳවියන් සංඛ්‍යාව 325 ක් වන අතර, පසුගිය වසර වන විට දිවයින පුරා පිහිටි බන්ධනාගාර ආයතන 21 කින් මෙම තත්ත්වය නිරීක්ෂණය වී තිබේ.
මූල්‍ය පහසුකම් නොමැතිකම, ඇප කොන්දේසි සපුරාලීමට නොහැකි වීම සහ ඇප තැබීමට ඥාතීන් ඉදිරිපත් නොවීම යන කරුණු මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව විගණන විමර්ශනවලදී තහවුරු වී ඇත. මේ පිළිබඳව කළ විමසීමකදී බන්ධනාගාර ප්‍රධානියෙකු ප්‍රකාශ කළේ මෙවැනි තත්ත්වයන් වාර්තා වන බවත්, ඊට විසඳුම් සෙවීම සඳහා සාකච්ඡා පවත්වන බවත්ය. මීට අමතරව ජනාධිපති පොදු සමාව හිමිවන අවස්ථාවලදී මෙවැනි රැඳවියන් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරමින් ඔවුන් නිදහස් කිරීමට කටයුතු කරන බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.