
ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්තිකයින් වෙනුවෙන් වඩාත් නම්‍යශීලී සහ ආකර්ෂණීය නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුණ හේමචන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය. කුවේට් අරමුදලෙන් ලැබුණු රුපියල් බිලියන 2.1 ක මූල්‍ය ප්‍රතිපාදන මෙම වැඩපිළිවෙළ වෙනුවෙන් වෙන් කර ඇති බව හෙතෙම සඳහන් කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිණී කුමාරි විජේරත්න මහත්මිය විසින් ඉදිරිපත් කරන ලද පෞද්ගලික මන්ත්‍රී යෝජනාවකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව අනාවරණය කළේය.මෙරටට විදේශ විනිමය සපයන ප්‍රධානතම මූලාශ්‍රයක් වන විදේශගත ශ්‍රමිකයන් වෙනුවෙන් වඩාත් විධිමත් සමාජ ආරක්ෂණ පද්ධතියක් සැලසීම මෙම "රටවිරු විශ්‍රාම වැටුප් ක්‍රමයේ" මූලික අරමුණ වී තිබේ. දැනට ශ්‍රී ලාංකිකයන් මිලියන 1.7 කට ආසන්න පිරිසක් විදේශ රැකියාවල නිරතව සිටින අතර, 2025 වසරේදී මෙරට ඉතිහාසයේ ඉහළම විදේශ ප්‍රේෂණ ගලා ඒම වාර්තා වී ඇත. එසේ වුවද, දැනට පවතින විශ්‍රාම වැටුප් ක්‍රමය යටතේ ලියාපදිංචි වී සිටින්නේ විදේශගත ශ්‍රමිකයන් 307 දෙනෙකු පමණක් බැවින්, මෙම ක්ෂේත්‍රයේ කඩිනම් ප්‍රතිසංස්කරණ සිදු කිරීමේ අවශ්‍යතාව දැඩිව මතුව තිබූ බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය.
යෝජිත නව ක්‍රමවේදය යටතේ විදේශගත ශ්‍රමිකයන්ට තමන් සේවය කරන කාල සීමාව සහ ආදායම් මට්ටම අනුව වඩාත් නම්‍යශීලී විශ්‍රාම වැටුප් විකල්ප තෝරා ගැනීමට අවස්ථාව හිමි වේ. ඒ අනුව, විශ්‍රාම ගැනීමෙන් පසු මාසික විශ්‍රාම වැටුපක් ලෙස හෝ එම ක්‍රමවේදය කල් පිරීමෙන් පසු එකවර ලැබෙන තනි මුදලක් වශයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට ඔවුන්ට හැකියාව පවතී. කුවේට් අරමුදල හරහා වෙන් කර ඇති රුපියල් බිලියන 2.1 ක මුදල උපයෝගී කර ගනිමින් 2026 දෙසැම්බර් 31 දිනට පෙර මෙම රටවිරු විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාවට නැංවීම සඳහා සැලකිය යුතු ප්‍රගතියක් අත්කර ගැනීම රජයේ ඉලක්කය වී ඇත.
මෙයට අමතරව, විදේශගත ශ්‍රමිකයන් නීත්‍යානුකූල මාර්ගවලින් මෙරටට එවන විදේශ ප්‍රේෂණ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ වාර්තා කිරීම සඳහා ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය සමඟ ඒකාබද්ධව සුවිශේෂී ජංගම දුරකථන යෙදවුමක් හඳුන්වා දීමටද සැලසුම් කර තිබේ. මෙම යෙදවුම මඟින් ශ්‍රමිකයන් ලංකාවට එවා ඇති සමස්ත මුදල දැක්වෙන නිල ප්‍රේෂණ වාර්තාවක් ලබා ගැනීමට ඔවුන්ට අවස්ථාව සැලසෙන අතර, එම තහවුරු කරන ලද වාර්තා පදනම් කර ගනිමින් විනිවිදභාවයකින් යුතුව විශ්‍රාම වැටුප් ප්‍රතිලාභ ගණනය කරනු ඇත. ශ්‍රී ලංකා විදේශ රැකියා නියුක්ති කාර්යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව සහ ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශයේ දායකත්වයෙන් ස්වෙච්ඡා පදනම මත මෙම නව විශ්‍රාම වැටුප් ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නියමිතය.