සාලියවැව ප්‍රදේශයේ දුම්කොළ අඩංගු බුලත්විට දන්සලක් පවත්වාගෙන ගිය පුද්ගලයෙකුට එරෙහිව නීතිමය පියවර ගැනීමට තම්බෝව සහ කලාඔය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් කටයුතු කර තිබේ. කරුවලගස්වැව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයට බලපැවැත්වෙන පරිදි සංවිධානය කර තිබූ මෙම දන්සල පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත තොරතුරක් ලැබී තිබුණු අතර, ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත.
මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් අදාළ ස්ථානය පරීක්ෂාවට ලක් කරන අවස්ථාවේදීත් එහි පැමිණි පිරිස් වෙත දුම්කොළ සහිත බුලත්විට බෙදාහරිමින් තිබූ බව වාර්තා වේ. පසුව නිලධාරීන් විසින් එම ස්ථානය භාරව කටයුතු කළ පුද්ගලයාට නිසි අවසරයකින් තොරව මෙවැනි දන්සලක් පැවැත්වීමේ නීති විරෝධී භාවය පිළිබඳව කරුණු පැහැදිලි කර දී තිබේ. කෙසේ වෙතත් එම අවවාද පිළිගැනීම ප්‍රතික්ෂේප කර ඇති අදාළ පුද්ගලයා, සෞඛ්‍ය නිලධාරීන්ගේ නිල රාජකාරී කටයුතුවලට බාධා පමුණුවමින් නොසන්සුන් අයුරින් හැසිරී ඇත.
එහිදී ඇති වූ උණුසුම් තත්ත්වය හේතුවෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් වහාම සාලියවැව පොලිස් ස්ථානය වෙත දුරකථනයෙන් දැනුම් දී පොලිස් නිලධාරීන් පිරිසක් එම ස්ථානයට කැඳවා තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් සිද්ධියට අදාළ පුද්ගලයාගෙන් සහ නිලධාරීන්ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, රජයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් නීති විරෝධී ලෙස දන්සලක් පැවැත්වූ එම තැනැත්තාට එළඹෙන ජූලි මස 9 වනදා පුත්තලම අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් නඩු පැවරීමට පියවර ගෙන ඇත.