පසුගිය පෙබරවාරි 28 වැනිදා ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එල්ල කළ ප්‍රහාරයෙන් පසුව, ලෝකයේ ඛනිජ තෙල් සහ ගෑස් සැපයුමෙන් වැඩි ප්‍රමාණයක් ප්‍රවාහනය කෙරෙන හෝමුස් සමුද්‍ර සන්ධිය සම්පූර්ණයෙන්ම පාහේ වසා දැමීමට ඉරානය පියවර ගත්තේය. මෙම අර්බුදයත් සමඟ ගෝලීය බලශක්ති මිල ගණන් සීඝ්‍රයෙන් ඉහළ ගිය අතර, එය ආසියානු කලාපයට දැඩි බලපෑමක් එල්ල කළේය.
කෙසේ වෙතත්, ආසියානු සමූහයේ (Asia Group) නවතම උපදේශන වාර්තාවකට අනුව, මෙම භූ දේශපාලනික සහ ආර්ථික අර්බුදයෙන් ආසියාව තුළ ජයග්‍රහණය කර ඇති එකම රට බවට පත්ව ඇත්තේ චීනයයි. සමුද්‍ර සන්ධිය වැසී යාමට පෙර, එය හරහා ප්‍රවාහනය වූ තෙල් වලින් 80% ක් සහ ද්‍රවීකෘත ස්වභාවික වායු වලින් 90% ක් පමණ ආසියානු වෙළෙඳපොළවල් වෙත ගමන් කර තිබීම මෙම කලාපයේ අවදානම මනාව පෙන්නුම් කරන කරුණකි.චීනය, ඉන්දියාව, ජපානය, දකුණු කොරියාව සහ අග්නිදිග ආසියාවේ නැඟී එන වෙළෙඳපොළවල් වෙත මෙම අර්බුදය කර්මාන්ත, බලශක්ති සහ කෘෂිකර්මාන්තය යන අංශවලට බලපාන ආකාරය පිළිබඳව පර්යේෂකයන් විසින් අධ්‍යයනය කර ඇත. එහිදී චීනයට මෙම බලශක්ති කම්පනයට සාර්ථකව මුහුණ දීමට හැකි වී ඇත්තේ ඔවුන් සතු දැවැන්ත ඛනිජ තෙල් සංචිත සහ පුනර්ජනනීය බලශක්තිය වෙත සිදුකරන ලද අතිවිශාල ආයෝජනයන් හේතුවෙනි. පසුගිය වසරේ අඩු මිල ගණන් යටතේ ඛනිජ තෙල් මිලදී ගනිමින් චීනය තම උපායමාර්ගික බලශක්ති සංචිත තවදුරටත් පුළුල් කරගත් අතර, 2025 වසර වන විට දෛනික බොරතෙල් ආනයනය බැරල් මිලියන 11.1 සිට 11.6 දක්වා වැඩි කරගෙන ඇත. ගෝලීය බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳ මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂිකාවක වන එරිකා ඩවුන්ස් පෙන්වා දෙන පරිදි, එම ආනයන වර්ධනයෙන් 80% කට වඩා වැඩි ප්‍රමාණයක් සංචිත ගොඩනැගීම සඳහා යොමු කර ඇති අතර, මේ වන විට චීනය සතුව දින 104 ක ආනයනයන්ට සමාන තෙල් සංචිත ප්‍රමාණයක් පවතී.
චීනයේ බලශක්ති අවශ්‍යතාවයෙන් 50% කට වඩා තවමත් ගල් අඟුරු මත රඳා පැවතුණද, ඔවුන්ගේ පුනර්ජනනීය බලශක්ති භාවිතය ඉතා වේගයෙන් වර්ධනය වෙමින් පවතී. පසුගිය වසරේදී පමණක් ලෝකයේ නව සූර්ය බලශක්ති ධාරිතාවයෙන් අඩකට වඩා වැඩි ප්‍රමාණයක්, එනම් ගිගාවොට් 315 ක ධාරිතාවක් ස්ථාපනය කිරීමට චීනය සමත් වූ අතර 2024 වසරේදී තවත් ගිගාවොට් 277 ක් එක් කර ඇත. 2030 වසර වන විට සිය සමස්ත බලශක්ති අවශ්‍යතාවයෙන් අඩක් පොසිල නොවන ප්‍රභවයන්ගෙන් ලබාගැනීමට චීනය ඉලක්ක කර ඇති අතර, සුළං සහ සූර්ය බලශක්ති දායකත්වය 2025 දී පවතින 22% සිට 30% දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරයි. ටෙරාවොට් 1.4 ක ක්‍රියාකාරී පුනර්ජනනීය බලශක්ති ධාරිතාවක් සහ දින 90 ත් 110 ත් අතර ප්‍රමාණවත් තෙල් සංචිත පැවතීම හේතුවෙන් කලාපයේ අනෙකුත් රටවලට වඩා හොඳින් මෙම අර්බුදයේ මූලික කම්පනය දරාගැනීමට චීනයට හැකි වූ බව අදාළ වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.
මෙම අර්බුදයත් සමඟ අනෙකුත් රටවල් පිරිසිදු බලශක්ති භාවිතය කඩිනම් කිරීමද චීනයට වාසියක් වී ඇත. සූර්ය පැනල සහ අනෙකුත් පිරිසිදු බලශක්ති තාක්ෂණික සැපයුම් ජාලය තුළ ගෝලීය ආධිපත්‍යය දරන බෙයිජිං පාලනය, අඩු මිල ගණන් යටතේ විදෙස් රටවලට සිය නිෂ්පාදන අපනයනය කරනු ලබයි. ඒ අනුව, මැයි මාසයේදී ඔවුන්ගේ විද්‍යුත් වාහන අපනයනය පෙර වසරට සාපේක්ෂව 110% කින් පමණ ඉහළ ගොස් ඇති අතර, අප්‍රේල් මාසයේදී සූර්ය කෝෂ අපනයනය 60% කින් වර්ධනය වී ඇත. ඇමරිකානු ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර පසුගිය මැයි මාසයේ පැවති හමුවකදී දෙපාර්ශවයම සටන් විරාමයක් අපේක්ෂා කරන බව ප්‍රකාශ කළද, මෙම අර්බුදය හරහා ඇමරිකාව ලෝකයට පිරිවැයක් පටවන අස්ථාවරකාරී පාර්ශවයක් ලෙස ඉස්මතු කර පෙන්වීමට චීනයට අවස්ථාවක් ලැබී තිබේ. එහෙත්, මැදපෙරදිග කලාපයේ ආරක්ෂකයා ලෙස ඇමරිකාව සතු භූමිකාව සියතට ගැනීමට චීනයට අවශ්‍යතාවයක් නොමැති බව සිංගප්පූරුවේ ජාත්‍යන්තර අධ්‍යයන පාසලේ ජ්‍යෙෂ්ඨ සාමාජික ඩෲ තොම්සන් ප්‍රකාශ කර ඇති අතර, මෙම තත්ත්වයන් කළමනාකරණය කළ යුතු අභියෝග සහ ප්‍රයෝජනයට ගත යුතු අවස්ථාවන් ලෙස චීනය දකින බව වාර්තාව පෙන්වා දෙයි.