කුරුණෑගල ප්‍රදේශයේ පාසල් භූමියක මෝටර් රථයක් ගිනිබත් වීමේ සිදුවීමක් සහ ඒ අසලින් ශිෂ්‍යයකු ගමන් කරන ආකාරය දැක්වෙන වීඩියෝවක් මේ දිනවල සමාජ මාධ්‍ය ජාලාවල සංසරණය වෙමින් පවතී. මෙම දර්ශන පෙළ සහිත වීඩියෝව තුළින් අදාළ ශිෂ්‍යයා විසින් මෝටර් රථයට ගිනි තැබූ බව ඇඟවෙන ආකාරයේ හඬ පටයක් ද ඊට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
පොලිසිය පවසන පරිදි මෙම ගිනි ගැනීම සිදු වී ඇත්තේ කුරුණෑගල පොලිස් වසමට අයත් පාසල් භූමියක් තුළදීය. කුරුණෑගල පොලිස් ස්ථානය මඟින් ලබා දී ඇති වාර්තාවලට අනුව, පසුගිය 03 වැනිදා සිදු වූ මෙම අනතුරෙන් රුපියල් ලක්ෂ 140ක් පමණ වටිනා මෝටර් රථයක් ගින්නෙන් විනාශ වී ඇති අතර, මේ සඳහා සිසුවකු වගකිව යුතු බවට පවසමින් පොලිසිය වෙත පැමිණිල්ලක් ද ඉදිරිපත් වී තිබේ.
මේ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ කුරුණෑගල පොලිසිය, අදාළ මෝටර් රථය ගිනි ගන්නා අවස්ථාවේ ඒ අසලින් ගමන් කළ සිසුවා එම විද්‍යාලයේම අධ්‍යාපනය ලබන අයකු බවට හඳුනාගෙන ඇත. එසේ වුවද, සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන පරිදි මෙම සිසුවා විසින් මෝටර් රථයට ගිනි තැබූ බව තහවුරු කෙරෙන කිසිදු ඇසින් දුටු සාක්ෂියක් හෝ පර්යේෂණ සාක්ෂියක් මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලිසිය අවධාරණය කරයි.
කුරුණෑගල පොලිසිය විසින් මේ වන විටත් මෙම සිද්ධියට අදාළ කරුණු අධිකරණය වෙත වාර්තා කර ඇති අතර විමර්ශන කටයුතු තවදුරටත් ඉදිරියට පවත්වාගෙන යනු ලබයි. එමෙන්ම මෝටර් රථය ගිනි ගැනීමට ලක් වූ නිශ්චිත හේතුව සෙවීම සඳහා රජයේ රස පරීක්ෂක කාර්යාලය මඟින් විශේෂඥ සාක්ෂි ලබා ගැනීමට ද කටයුතු සූදානම් කර ඇති බව පොලිස් නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.