2026 ෆිෆා ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අතිශය තීරණාත්මක අවසන් පූර්ව වටයේදී එංගලන්තයට එරෙහිව ගෝල 2-1ක සුවිශේෂී ජයක් වාර්තා කිරීමට වත්මන් ලෝක ශූර ආර්ජන්ටිනාව සමත් විය. ඇට්ලන්ටා හි මර්සිඩීස්-බෙන්ස් ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය ආරම්භයේ සිටම දැඩි තරගකාරී මුහුණුවරක් ගත් අතර දෙපිලේම ක්‍රීඩකයන්ගෙන් දරුණු වැරදි සහ දැඩි ශාරීරික උපක්‍රම රැසක් දක්නට ලැබිණි.
වසර විසි ගණනකට පසු ප්‍රධාන ජාත්‍යන්තර තරගාවලියකදී මෙම සාම්ප්‍රදායික ප්‍රතිවාදීන් දෙදෙනා එකිනෙකා හමුවූ පළමු අවස්ථාව මෙය වීම නිසාම මුළු ලෝකයේම අවධානය මේ වෙත යොමුව තිබිණි. තරගයේ පළමු භාගය ගෝල රහිතව නිමාවුවද දෙවන භාගයේ 55 වන මිනිත්තුවේදී මෝගන් රොජර්ස් ලබාදුන් පන්දුවක් සාර්ථකව ගෝලයක් බවට පත් කිරීමට එංගලන්තයේ ඇන්තනි ගෝඩන් සමත් විය. මෙම ගෝලයත් සමඟ එංගලන්තය තරගයේ පෙරමුණ ගත් අතර ආර්ජන්ටිනාව දැඩි පීඩනයකට ලක් විය. තරගය පුරා එංගලන්ත දැල් රකින්නා වූ ජෝර්ඩන් පික්ෆර්ඩ්ගේ විශිෂ්ට පන්දු වැළැක්වීම් සහ ගෝල රේඛාව මත සිදුකළ ආරක්ෂක උපක්‍රම හේතුවෙන් ආර්ජන්ටිනාවට ගෝල රැස් කිරීම අසීරු වී තිබුණි.
කෙසේ වෙතත් තරගය අවසන් වීමට මිනිත්තු කිහිපයක් ඉතිරිව තිබියදී ලයනල් මෙසී ප්‍රමුඛ ආර්ජන්ටිනා කණ්ඩායම සටන අත්නෑර පෙරළිකාර ක්‍රීඩා විලාසයක් දියත් කළේය. ඒ අනුව 85 වන මිනිත්තුවේදී ලයනල් මෙසීගේ දක්ෂ පන්දු යොමු කිරීමකින් ප්‍රයෝජන ගත් එන්සෝ ෆර්නැන්ඩස් ආර්ජන්ටිනාව වෙනුවෙන් සම ගෝලය වාර්තා කිරීමට සමත් විය. ඉන් නොනැවතුණු ආර්ජන්ටිනා ක්‍රීඩකයෝ තරගයේ අතිරේක කාලයේදී, එනම් 92 වන මිනිත්තුවේදී ලවුතාරෝ මාර්ටිනස් තැබූ තීරණාත්මක ගෝලයත් සමඟ තරගයේ ජයග්‍රහණය තමන් සතු කර ගත්හ.
මෙම අතිවිශිෂ්ට ජයග්‍රහණයත් සමඟ ආර්ජන්ටිනාව මෙවර ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත් අතර එහිදී ඔවුන්ට ප්‍රබල ස්පාඤ්ඤ කණ්ඩායමට එරෙහිව ක්‍රීඩා කිරීමට සිදුවේ. ස්පාඤ්ඤය සිය අවසන් පූර්ව තරගයේදී ප්‍රංශය ගෝල 2-0ක් ලෙස පරාජය කරමින් අවසන් මහා තරගයේ ඉඩක් වෙන් කරවා ගැනීමට සමත් විය. ලෝක පාපන්දු ක්ෂේත්‍රයේ දැවැන්තයන් දෙදෙනෙකු මුහුණ දෙන මෙම අවසන් මහා තරගය ජූලි 19 වන ඉරිදා ඇමරිකාවේදී පැවැත්වීමට නියමිතව ඇත.
තරගයට පෙර විවිධ පාර්ශ්වයන් වෙතින් අනාවැකි පළ වෙමින් පවතින අතර EA FC හි පරිගණක සමානුකරණ මඟින් ස්පාඤ්ඤය ගෝල 3-2කින් ජයග්‍රහණය කරනු ඇතැයි දල වශයෙන් ඇස්තමේන්තු කර තිබේ. මීට පෙර අවලංගු කරන ලද 2026 ෆයිනලිසිමා තරගයෙන් පසුව මෙම කණ්ඩායම් දෙක එකිනෙකා හමුවන පළමු අවස්ථාව මෙය වන බැවින්, මෙසී ඇතුළු ප්‍රවීණයන්ට එරෙහිව ස්පාඤ්ඤයේ තරුණ ක්‍රීඩකයන් දක්වන දක්ෂතාව නැරඹීමට ලෝකවාසී ක්‍රීඩා ලෝලීහු මහත් උනන්දුවකින් පසුවෙති.