tax-laws-tighten

තම ආදායම් බදු වගකීම් හිතාමතාම පැහැර හරිමින් කටයුතු කරන පුද්ගලයන්ට මෙන්ම ආයතනවලට එරෙහිව දණ්ඩ නීති මඟින් අපරාධමය නඩු පැවරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. නවතම 2026 වසරේ අංක 11 දරණ දේශීය ආදායම් සංශෝධන පනත මගින් මෙම නීතිමය පියවර ගැනීම සඳහා වන පූර්ණ බලතල දේශීය ආදායම් කොමසාරිස් ජනරාල්වරයා වෙත පැවරී ඇති බව එම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.




විශේෂයෙන්ම ආදායම් බදු කටයුතු වෙනුවෙන් ලියාපදිංචි වීමට අපොහොසත් වීම, නියමිත පරිදි ආදායම් බදු වාර්තා ගොනු නොකිරීම මෙන්ම රඳවා ගැනීමේ බදු සහ අත්තිකාරම් පුද්ගල ආදායම් බදුවලට අදාළ වාර්ෂික ප්‍රකාශන ඉදිරිපත් නොකිරීම යන කරුණු මුල් කරගනිමින් මෙලෙස නඩු පැවරිය හැකි බව සඳහන් වෙයි. කෙසේ වෙතත්, මෙම දැඩි නීතිමය පියවර අවසන් විකල්පය ලෙස භාවිත කිරීමට දෙපාර්තමේන්තුව තීරණය කර ඇති අතර, ඊට ප්‍රථමයෙන් අනුගමනය කළ යුතු නීතිමය පියවර කිහිපයක් ක්‍රියාවට නැංවීමට ද සැලසුම් කර ඇත.

ඒ අනුව, යම් පාර්ශවයකට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට පෙර ඒ පිළිබඳව නිල වශයෙන් දැනුම් දෙමින් විශේෂ නිවේදනයක් නිකුත් කෙරෙන අතර, අදාළ බදු බැඳීම් සපුරාලීම සඳහා දින 30 ක සහන කාලයක් ද ලබා දීමට නියමිතය. එම නියමිත කාල සීමාව තුළ ද අදාළ අවශ්‍යතාවයන් සපුරාලීමට පියවර නොගන්නේ නම් එය නීති විරෝධී වරදක් සේ සලකා, මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරියේ නඩු පැවරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව කටයුතු කරනු ඇත.




එලෙස පවරනු ලබන චෝදනාවලට අධිකරණය ඉදිරියේ වරදකරු වන පුද්ගලයෙකුට හෝ ආයතනයකට රුපියල් ලක්ෂ 4 ක සීමාව නොඉක්මවන දඩ මුදලක්, මාස 6 ක කාලයකට නොවැඩි සිරදඬුවමක් හෝ එම දණ්ඩන ද්විත්වයම පැනවීමට නීතිමය ප්‍රතිපාදන පවතී. කෙසේ වුවද, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කරනු ලබන්නේ සහයෝගයෙන් කටයුතු කරන බදු ගෙවන්නන්ට දඬුවම් කිරීමට නොව, හිතාමතාම බදු වංචා කරන පිරිස් ඉලක්ක කර ගනිමින් පමණක් බවයි.