83-lakhs-worth-of-gold-was-repeatedly-lifted-from-the-house-where-he-worked

බොරලැස්ගමුව, කටුවාවල ප්‍රදේශයේ නිවසකින් රුපියල් අසූතුන් ලක්ෂ දහදහසක් වටිනා පවුම් 15කට අධික රන්භාණ්ඩ සහ රුපියල් එකොළොස් ලක්ෂ තිස්තුන්දහසක විදේශ මුදල් තොගයක් වරින් වර සොරකම් කරන ලද ගෘහ සේවිකාව සහ එම රන්භාණ්ඩ මිලදී ගත් වෙළෙඳසල් හිමියෙකු බොරලැස්ගමුව පොලීසිය විසින් පසුගිය 30 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ. දීර්ඝ කාලයක් මුළුල්ලේ මෙම සොරකම සිදුව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.




මෙසේ අත්අඩංගුවට පත්ව ඇති ප්‍රධාන සැකකාරිය ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි 70 හැවිරිදි කාන්තාවකි. ඇය මීට පෙර වසර 15ක් ඩුබායි රාජ්‍යයේ සහ වසර 3ක් කුවේට් රාජ්‍යයේ ගෘහ සේවිකාවක ලෙස සේවය කර මෙරටට පැමිණ ඇති අතර, සොරකම සිදු වූ නිවසේ වසර 6ක පමණ කාලයක සිට සේවය කරමින් සිට ඇති බව පොලීසිය පවසයි. සොරකම් කරන ලද රන්භාණ්ඩ මිලදී ගැනීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් වෙළෙඳසල් හිමිකරු මීගමුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි වියේ පසුවන්නෙකි.

නිවසේ තිබූ රන්භාණ්ඩ සහ මුදල් නිතර නිතර අතුරුදන් වන බව නිරීක්ෂණය කළ නිවැසියන් ඒ පිළිබඳව බොරලැස්ගමුව පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ උප පොලිස් පරීක්ෂක දිමුතු රත්නායක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක්, සැකකාරියගේ දුරකථන විශ්ලේෂණ වාර්තා ඔස්සේ පුළුල් විමර්ශනයක් දියත් කර ඇත. එහිදී ඇය ගිරිඋල්ල ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ රැඳී සිටින බව හඳුනාගෙන එහි ගොස් සැකකාරිය අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් විය.




අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම්වලට අනුව, ඇයගේ නිවසේ සඟවා තිබූ රුපියල් ලක්ෂ හතළිස් පහක් වටිනා රන්භාණ්ඩ කොටසක් සහ රුපියල් හාරලක්ෂ තිස්දහසක විදේශ මුදල් ප්‍රමාණයක් පොලිස් භාරයට ගැනීමට හැකි වී තිබේ. සොරකම් කරන ලද ඉතිරි රන්භාණ්ඩ මීගමුව ප්‍රදේශයේ රන්භාණ්ඩ අලෙවි සැලකට විකුණා ඇති අතර, එම වෙළෙඳසල් හිමියා ඒවා උණුකර කුරුණෑගල ප්‍රදේශයේ වෙනත් වෙළෙඳසලකට අලෙවි කර ඇති බව ද පොලිස් පරීක්ෂණවලදී වැඩිදුරටත් හෙළි වී ඇත.