an-undercover-video-racket-at-a-bandarawela-spa

බණ්ඩාරවෙල ස්පා මධ්‍යස්ථානයක රහසිගතව සිදුකළ වීඩියෝ ජාවාරමක් පොලිස් වැටලීමකින් අනාවරණය වේ.බණ්ඩාරවෙල, ඇල්ලතොට ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ස්පා මධ්‍යස්ථානයක් වටලා සේවාදායකයින්ගේ ලිංගික ක්‍රියා රහසිගතව වීඩියෝ ගත කර අන්තර්ජාලය හරහා විකිණීමේ ජාවාරමක නිරත වූ යුවළක් ඇතුළු පිරිසක් අත්අඩංගුවට ගැනීමට පොලිසිය පියවර ගෙන ඇත.




මෙම ජාවාරම මෙහෙයවූ ප්‍රධාන සැකකරුවන් ලෙස හඳුනාගෙන ඇත්තේ වැලිමඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකු සහ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි කාන්තාවකි.

එම ස්ථානයේ කාමර තුළ සූක්ෂම ලෙස සවි කළ කැමරා ආධාරයෙන් සේවාදායකයින්ගේ ලිංගික ක්‍රියා වීඩියෝ ගත කර ඇති සැකකරුවන්, එම දර්ශන ජංගම දුරකථනවල ගබඩා කර විදේශීය ආයතන වෙත මුදලට අලෙවි කර ඇති බව විමර්ශනවලදී තහවුරු වී තිබේ.




පාරිභෝගිකයින් තෝරාගන්නා කාන්තාව මත රඳා පවතින පරිදි රුපියල් 4000 ත් 8000 ත් අතර මුදලක් අය කරමින් මෙම ගණිකා වෘත්තිය සහ වීඩියෝ ජාවාරම ක්‍රියාත්මක කර ඇත.

වැටලීමේදී සැකකාර යුවළට අමතරව ජාඇළ, මිනුවන්ගොඩ, මාතලේ සහ වැලිමඩ ප්‍රදේශවල පදිංචි 18 ත් 40 ත් අතර වයසේ පසුවන කාන්තාවන් සිව්දෙනෙකු සහ තවත් පුද්ගලයෙකු පොලිස් භාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් ලිංගාශ්‍රිත රෝග සම්බන්ධයෙන් වෛද්‍ය පරීක්ෂණයකට යොමු කර ඇති අතර, ඔවුන් සන්තකයේ තිබූ ජංගම දුරකථන වැඩිදුර විමර්ශන සඳහා පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමට නියමිතය.



බණ්ඩාරවෙල කොට්ඨාස විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ගුණතිලක මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර ඇත්තේ සහකාර පොලිස් අධිකාරී රුවන් ප්‍රනාන්දු, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මයුර පෙරේරා, නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි විජයරත්න සහ ඌව පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් මතය.

එම වැටලීම සාර්ථක කර ගැනීම සඳහා පොලිසිය විසින් එම ස්ථානයේ සේවාවන් ලබාගන්නා පුද්ගලයෙකු ලෙස වෙස්වළාගත් උපාය දූතයෙකුගේ සහාය ලබාගෙන ඇත.