වසරකට දෙවතාවක් ඔරලෝසු වේලාවන් වෙනස් කිරීමේ සාම්ප්‍රදායික ක්‍රමය අවසන් කරමින්, ඇමරිකාවේ 'දිවා සුරැකුම් කාලය' (Daylight Saving Time) ස්ථිර තත්ත්වයට පත් කිරීම සඳහා වන පනත් කෙටුම්පතක් එරට නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේදී (House of Representatives) අතිමහත් බහුතර ඡන්දයෙන් සම්මත වී තිබේ. 'සන්ෂයින් ප්‍රොටෙක්ෂන් ඇක්ට්' (Sunshine Protection Act) ලෙස නම් කර ඇති මෙම පනත සඳහා පක්ෂව ඡන්ද 308ක් සහ විපක්ෂව ඡන්ද 117ක් ලැබී ඇති අතර, එය මීළඟට සෙනෙට් මණ්ඩලයේ අනුමැතිය සඳහා යොමු කිරීමට නියමිතය.
මීට පෙර පැවති නියෝජිත මන්ත්‍රී මණ්ඩල රීති කමිටු ඡන්ද විමසීමේදී ද 6ට 4ක් ලෙස මෙම පනත ඉදිරියට ගෙනයාමට අනුමැතිය හිමි විය.ඩිමොක්‍රටික් පාර්ශවයේ මෙන්ම ඩොනල්ඩ් ට්‍රම්ප් ඇතුළු රිපබ්ලිකන් පාර්ශවයේ ද ද්විපාර්ශ්වික සහයෝගය මේ සඳහා හිමිව තිබීම විශේෂත්වයක් වන අතර, ඇමරිකානුවන් වසරකට දෙවරක් ඔරලෝසු කටු වෙනස් කිරීමෙන් වෙහෙසට පත්ව සිටින බව මෙහිදී ප්‍රකාශ විය. දැනට ඇමරිකාවේ ප්‍රාන්ත බහුතරයක් වසන්ත කාලයේදී ඔරලෝසු කටු ඉදිරියටත්, සරත් කාලයේදී පසුපසටත් තබමින් දිවා ආලෝකය වැඩිපුර ලබා ගැනීමට කටයුතු කළ ද, හවායි සහ ඇරිසෝනා ප්‍රාන්තයේ බහුතර ප්‍රදේශ මෙම කාලය වෙනස් කිරීමේ ක්‍රියාවලියට දායක වන්නේ නැත.
ෆ්ලොරිඩා ප්‍රාන්තයේ රිපබ්ලිකන් නියෝජිත වර්න් බුකනන් විසින් ඉදිරිපත් කරන ලද මෙම නව යෝජනාව මඟින් දිවා සුරැකුම් කාලය ස්ථිර සම්මත වේලාව බවට පත් කෙරෙනු ඇත. මේ හේතුවෙන් සූර්යයා උදාවීම සහ බැසයාම ප්‍රමාද වන අතර, වසරේ වඩාත් අඳුරු කාලවලදී පවා සන්ධ්‍යා භාගයේ වැඩි දිවා ආලෝකයක් භුක්ති විඳීමට ජනතාවට අවස්ථාව ලැබෙනු ඇත. කෙසේ වෙතත්, මෙම පනත යටතේ ස්ථිර සම්මත වේලාවකම රැඳී සිටීමට අවශ්‍ය ප්‍රාන්ත පවතී නම්, ඒ සඳහා ඉවත් වීමේ අයිතිය ද ඔවුන්ට පවරා තිබේ.
මෙම කාල වෙනස් කිරීම ස්ථිර කිරීම මඟින් මහජන සෞඛ්‍යය ඉහළ නැංවීම, මාර්ග අනතුරු සහ අපරාධ අවම කිරීම මෙන්ම ජනතාවට එළිමහන් ක්‍රියාකාරකම්වල නිරත වීමට වැඩි ඉඩක් ලැබෙන බව පනත ඉදිරිපත් කළ බුකනන් පෙන්වා දෙයි. මේ පිළිබඳව අදහස් දක්වමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සිය 'ටෘෘත් සෝෂල්' (Truth Social) ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කළේ, මෙය රිපබ්ලිකන් පක්ෂයට ලැබුණු විශිෂ්ට ජයග්‍රහණයක් වන අතර වඩාත් ජනප්‍රිය විකල්පය වන දීප්තිමත් දිගු දිනයක් ලබා දෙන මෙම තීරණයට කිසිවෙකුට විරුද්ධ විය නොහැකි බවයි.
විසිවන සියවසේ මුල් භාගයේදී යුද සමයේ බලශක්තිය ඉතිරි කර ගැනීමට සහ දිවා ආලෝකය උපරිමයෙන් ප්‍රයෝජනයට ගැනීමට මෙම ක්‍රමය හඳුන්වා දුන් අතර එතැන් පටන් මේ පිළිබඳව ජාතික මට්ටමින් විවිධ විවාද පවතී. මීට පෙරද මෙවැනි උත්සාහයන් නීතිමය වශයෙන් අසාර්ථක වුවද, දැනටමත් ඇමරිකාවේ ප්‍රාන්ත 19ක් කොන්ග්‍රස් මණ්ඩලයේ අනුමැතිය ලැබුණු වහාම මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය ප්‍රාන්ත මට්ටමේ නීති සකස් කරගෙන තිබේ. කෙසේ වෙතත්, නින්ද පිළිබඳ විශේෂඥයින් පවසන්නේ ස්ථිර සම්මත වේලාවක් පැවතීම මිනිස් සිරුරේ ජෛව විද්‍යාත්මක ඔරලෝසුවට (circadian rhythms) වඩාත් ගැළපෙන බැවින්, දිවා සුරැකුම් කාලයද නැතහොත් සාමාන්‍ය සම්මත වේලාවද ස්ථිර කළ යුත්තේ යන්න පිළිබඳව තවමත් මතභේද පවතින බවයි.