disappointed-central-province-governor-professor-sarath-abeykoon-leaves

මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත බාර දී තිබේ. මීට දින කිහිපයකට ඉහතදී ජනාධිපතිවරයා වෙත යොමු කරන ලද මෙම ලිපිය සම්බන්ධයෙන් මේ දක්වා කිසිදු ප්‍රතිචාරයක් ලැබී නොමැති බව ඒ මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම, ජනාධිපතිවරයා විසින් මෙම ඉල්ලා අස්වීම පිළිගැනීමට හෝ ප්‍රතික්ෂේප කිරීමට පියවර ගෙන තිබේද යන්න පිළිබඳව මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නොමැති බව ද අප කළ විමසීමකදී ආණ්ඩුකාරවරයා තහවුරු කළේය.




සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කළේ කුමන හේතුවක් නිසාදැයි විමසූ අවස්ථාවේදී මහාචාර්ය සරත් අබේකෝන් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේ, එය සම්පූර්ණයෙන්ම පෞද්ගලික හේතුවක් මත කලකිරීමකින් එම පදනම්ව ගත් තීරණයක් බවයි. වර්තමාන තනතුරට පත්වීමට පෙර ඒ මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උප කුලපති ධූරය ද හොබවනු ලැබීය.

මේ අතර මධ්‍යම පළාතේ ආණ්ඩුකාර ලේකම් තනතුර ද මේ වන විට හිස්ව පවතී. එම ධූරයේ කටයුතු කළ මංජුලා මඩහපොල මහත්මිය පසුගියදා විශ්‍රාම ලැබීම ඊට හේතුව වී තිබේ. ඒ අනුව ඇති වූ පුරප්පාඩුව වෙනුවෙන් මධ්‍යම පළාත් රාජ්‍ය සේවා කොමිසමේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ඉෂාන් විජේතිලක මහතා ආණ්ඩුකාර ලේකම් ධූරයේ වැඩබැලීම සඳහා පත් කිරීමට පියවර ගෙන ඇත.