ඉරානය විසින් මැදපෙරදිග කලාපයේ පිහිටි සංවේදී ඇමරිකානු හමුදා කඳවුරු නිවැරදිව ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීම සඳහා චීන චන්ද්‍රිකා තාක්ෂණය භාවිතා කරන බව මේ වන විට අනාවරණය වී තිබේ. හිටපු බ්‍රිතාන්‍ය බුද්ධි නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ, මෙම මැදපෙරදිග ප්‍රහාර මාලාව හරහා චීනය විසින් ඇමරිකා එක්සත් ජනපදයට එරෙහිව නියෝජිත යුද්ධයක් (proxy war) මෙහෙයවමින් සිටින බවයි.
ඇමරිකාව සහ ඉරානය අතර පවතින මෙම ගැටුමට චීනය මැදිහත් වීම, පැසිෆික් කලාපයේ ආරක්ෂක සමතුලිතතාවය වෙනස් කිරීමටත්, කලාපීය ආරක්ෂක සිතියම නැවත නිර්මාණය කිරීමටත් බලපාන ප්‍රබල තර්ජනයක් බව ආරංචි මාර්ග පෙන්වා දෙයි.මෙම ඉලක්කගත ප්‍රහාර සඳහා ඉරානය විසින් බීජිං හි පිහිටි ඉහළ තාක්‍ෂණික සමාගමක් සමඟ ඇති කරගත් ගිවිසුමක් හරහා ලබා ගත්, ඉතා පැහැදිලි ඡායාරූප ලබා දෙන 'TEE-01B' නමැති චීන චන්ද්‍රිකාව භාවිතා කරනු ලබයි. කෙසේ වෙතත්, ඉරානය වෙත සෘජු හමුදා සහයක් ලබා දෙන බව චීනය නිල වශයෙන් ප්‍රතික්ෂේප කර ඇත. මීට පෙර විශ්වාස කෙරුණේ ඉරානයට ඇමරිකානු කඳවුරු මෙතරම් සාර්ථකව ඉලක්ක කිරීම සඳහා අවශ්‍ය චන්ද්‍රිකා ඡායාරූප බුද්ධි තොරතුරු රුසියාව විසින් සපයන බවයි.
මැදපෙරදිග ගැටුම් හේතුවෙන් මේ වන විට පවුම් බිලියන ගණනක් වටිනා ඇමරිකානු යුධ උපකරණ විනාශ වී ඇති අතර, ඇමරිකානු සොල්දාදුවන් 16 දෙනෙකුට සිය ජීවිත අහිමි වී තිබේ. පසුගිය සෙනසුරාදා ජෝර්දානයේ මුඅෆාක් (Muwaffaq) ගුවන් කඳවුරට එල්ල වූ ප්‍රහාරයකින් ඇමරිකානු නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත් වූ අතර, එදිනම රාත්‍රියේ කුවේට්, බහරේන් සහ සෞදි අරාබියේ පිහිටි අනෙකුත් ඇමරිකානු කඳවුරුවලට ද ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වී ඇත. මැයි මාසයේ නිකුත් වූ දත්ත වලට අනුව, ගැටුම ආරම්භ වූ දා සිට ඇමරිකානු හමුදා ස්ථාන 228 කට පමණ ප්‍රහාර එල්ල වී ඇති අතර එම සංඛ්‍යාව මේ වන විට තවත් ඉහළ ගොස් ඇතැයි විශ්වාස කෙරේ. මෙලෙස විනාශ වූ දේපළ අතරට ප්‍රහාරක ගුවන් යානා, බුද්ධි තොරතුරු රැස්කරන යානා, ප්‍රධාන රේඩාර්, සන්නිවේදන සහ ගුවන් ආරක්ෂක උපකරණ ද ඇතුළත් වේ. මෙම තත්ත්වය මගින් පැසිෆික් කලාපයේ ගුවාම් වැනි ස්ථානවල පිහිටි ඇමරිකානු ඉදිරි ගුවන් කඳවුරුවල ඇති අනාරක්ෂිත බව මනාවට පෙන්නුම් කරයි.
හිටපු බ්‍රිතාන්‍ය හමුදා බුද්ධි නිලධාරී පිලිප් ඉන්ග්‍රම් පවසන පරිදි, ඉරානයේ සෑම සාර්ථක ප්‍රහාරයක් හරහාම චීනය ඇමරිකානු ආරක්ෂක පද්ධතීන්ට ඇතුළු වන ආකාරය පිළිබඳව අධ්‍යයනය කරමින් සිටී. ඇමරිකානුවන්ට එරෙහිව තම හමුදා හැකියාවන් පරීක්ෂා කිරීමට චීනය ලැබෙන සෑම අවස්ථාවක්ම ප්‍රයෝජනයට ගන්නා බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත. ඇමරිකාව තම ආයුධ සංචිත ක්ෂය කර ගනිමින් තවදුරටත් දුර්වල වන විට, වක්‍රාකාරව ඉරානයට සහ රුසියාවට යුධ සහය දැක්වීම හරහා චීනය සිය යුධ හා ඉලක්ක ගැනීමේ තාක්ෂණය වඩාත් දියුණු කරගනිමින් සිටින බව බුද්ධි අංශ වල නිරීක්ෂණයයි.
මේ අතර ඉරානය විසින් ජෝර්දානය වෙත ඊයේ දිනයේදීත් ප්‍රහාර එල්ල කළ අතර, ඉන් මිසයිල තුනක් බිම හෙලීමට හැකි වී ඇත. සිව්වන මිසයිලය ජනශූන්‍ය ප්‍රදේශයකට පතිත වී ඇති අතර ජෝර්දානයේ අගනුවර වන අම්මාන් නගරයේ අනතුරු ඇඟවීමේ නලා ශබ්ද නිකුත් වී තිබේ. මීට අමතරව අකාබා (Aqaba) වරාය නගරයට ද ඉරාන මිසයිල ප්‍රහාර එල්ල වී ඇත. එසේම, ඉරානය දෙවන වරටත් සිය ජල පිරිපහදු මධ්‍යස්ථානයකට පහර දුන් බව කුවේටය ප්‍රකාශ කර තිබේ. ඉරානය විසින් න්‍යෂ්ටික බලාගාරයක් ඉදිකිරීමට අපේක්ෂා කළ ස්ථානයකට එල්ල වූ ප්‍රහාරයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය (IAEA) ද මේ වන විට පරීක්ෂණ පවත්වමින් සිටී.
දැනට පවතින මෙම යුධමය වාතාවරණය මධ්‍යයේ, ඇමරිකාව සහ ඊශ්‍රායලය අතර සාමකාමී මැදිහත්කරුවන් ලෙස කටයුතු කිරීමට කටාර් රාජ්‍යය සහ ඉරාකය තිරය පිටුපස සිට උත්සාහ කරමින් සිටී. කෙසේ වෙතත්, දිගින් දිගටම පවතින ගැටුම් හේතුවෙන් ගෝලීය වෙළඳාම සඳහා අතිශය වැදගත් මුහුදු මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය මේ වන විටත් සම්පූර්ණයෙන්ම වසා දමා තිබේ.