තායිවානය (Thaiwan) විසින් ශ්‍රී ලාංකිකයින් සඳහා සංචාරක වීසා අයදුම්පත් භාරගැනීම වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට පියවර ගෙන තිබේ. තායිවාන විදේශ කටයුතු අමාත්‍යාංශයේ විදේශ සේවා කාර්යාංශය විසින් නිකුත් කරන ලද නවතම වීසා නියාමනයන්ට අනුකූලව මෙම තීරණය ගෙන ඇති අතර, මෙය එරට විසින් හඳුනාගත් විශේෂිත රටවල් සඳහා වන වීසා පාලන ප්‍රතිපත්තියේ සංශෝධනයක් ලෙස ක්‍රියාත්මක වේ.
මෙම නව තීරණය හමුවේ සංචාරක අරමුණු සඳහා වීසා ලබාගැනීම තහනම් වුවද, වෙනත් ක්ෂේත්‍ර කිහිපයක් යටතේ තායිවානය වෙත ගමන් කිරීමට ශ්‍රී ලාංකිකයින්ට තවදුරටත් අවස්ථාව හිමිවෙයි. තායිවාන රාජ්‍ය ආයතනයක නිල ආරාධනයක් සහිත සංචාර, අධ්‍යාපනික හා සංස්කෘතික හුවමාරු වැඩසටහන්, තෙවන පරම්පරාවේ ඥාතීන් හමුවීමේ සංචාර, ව්‍යාපාරික කටයුතු, නෞකා සේවකයින් ලෙස වාර්තා කිරීම සහ වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ අරමුණු සඳහා වීසා අයදුම්පත් තවදුරටත් ඉදිරිපත් කළ හැකිය.
එලෙස අනුමත කරන ලද වෙනත් අරමුණු සඳහා වීසා අයදුම් කරන ශ්‍රී ලාංකිකයන් සිය අයදුම්පත් ඉන්දියාවේ චෙන්නායි හි පිහිටි තායිපේ ආර්ථික හා සංස්කෘතික මධ්‍යස්ථානය (TECC) හෝ සිංගප්පූරුවේ පිහිටි තායිපේ නියෝජිත කාර්යාලය වෙත යොමු කළ යුතුය. එහිදී තායිවාන වැසියෙකු වන ඇපකරුගේ ඇපකර ලිපිය හා ජාතික හැඳුනුම්පත් පිටපත ඇතුළු ලේඛන ද, අයදුම්කරුගේ විදේශ ගමන් බලපත්‍ර පිටපත, පොලිස් සහතිකය, මූල්‍ය හැකියාවන් සනාථ කරන ලේඛන, නවාතැන් පිළිබඳ තොරතුරු සහ ආපසු පැමිණීමේ ගුවන් ටිකට්පත ආදී ලේඛන රැසක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කර ඇත.
තායිවාන රජය විසින් ශ්‍රී ලංකාව ඇතුළුව ඇෆ්ගනිස්ථානය, බංග්ලාදේශය, පකිස්ථානය, නේපාලය, ඉරාකය, ඇල්ජීරියාව බංග්ලාදේශය, කැමරූන්, ගැම්බියාව, ඝානාව, ඉරාකය, නයිජර්, නයිජීරියාව, සෙනෙගල්, සෝමාලියාව සහ සිරියාව වැනි රටවල් රැසක් අධික ආගමන විගමන අවදානම් සහිත රටවල් ලෙස නම් කර තිබේ. පසුගිය කාලසීමාවේදී තායිවානයේ ‘නව දකුණු දිශානුමුඛ ප්‍රතිපත්තිය’ යටතේ ශ්‍රී ලාංකිකයින්ට සංචාරක වීසා ලබාගැනීමට ඇතැම් ලිහිල් කිරීම් සිදුකර තිබුණද, වීසා කාල සීමාව ඉක්මවා රැඳී සිටීම, නීති විරෝධී රැකියා සහ කලාපීය ආරක්ෂක අවදානම් අවම කරගැනීමේ රාජ්‍ය තාන්ත්‍රික පියවරක් ලෙස මෙම සංචාරක වීසා අත්හිටුවීම සිදුව ඇත.
මෙම පියවර මගින් ශ්‍රී ලාංකිකයන් සඳහා වන සංචාරක වීසා බලපත්‍ර තාවකාලිකව අත්හිටුවා තිබුණද, තායිවාන පුරවැසියන්ගේ විවාහක සහකරුවන්, දරුවන්, රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ මානුෂීය අවශ්‍යතා සහිත පුද්ගලයින්ට මෙම සීමාවන්ගෙන් නිදහස හිමිවෙයි. දෙරට අතර පවතින ආගමන විගමන දත්ත සහ රාජ්‍ය තාන්ත්‍රික අවශ්‍යතාවන්ට අනුව මෙම ප්‍රතිපත්ති වරින් වර වෙනස් විය හැකි බැවින්, ඉදිරි සංචාර සඳහා සූදානම් වන පිරිස් තායිවාන විදේශ සේවා කාර්යාංශයේ (BOCA) නිල වෙබ් අඩවිය හෝ ළඟම පිහිටි තායිවාන නියෝජිත කාර්යාලය හරහා යාවත්කාලීන තොරතුරු පරීක්ෂා කරගැනීම සුදුසු වේ.