a-request-from-the-air-force-not-to-fly-kites-in-those-areas-after-an-airplane-entangled-with-kites-in-ratmalana

ගුවන් තොටුපළවල් සහ ගුවන් ගමන් මාර්ග ආශ්‍රිත ප්‍රදේශවල සරුංගල් යැවීමෙන් වළකින ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදාව මහජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි. පසුගිය ජූලි 15 වනදා රත්මලාන ගුවන් තොටුපළෙන් ගුවන්ගත වූ වයි-12 (Y-12) වර්ගයේ පුහුණු ගුවන් යානයක් සරුංගල් නූල්වල පැටලීම හේතුවෙන් හදිසියේ ගොඩබෑමට සිදුවීමත් සමඟ මෙම අනතුරු ඇඟවීම නිකුත් කර තිබේ.

යානය ආරක්ෂිතව බිම්ගත කිරීමෙන් පසු සිදුකළ තාක්ෂණික පරීක්ෂණවලදී එහි වම්පස රෝදය, වම් එන්ජින් ප්‍රදේශය මෙන්ම තවත් වැදගත් කොටස් කිහිපයක සරුංගල් නූල් විශාල ප්‍රමාණයක් පැටලී තිබූ බව අනාවරණය වී ඇත.




මෙවැනි ක්‍රියාකාරකම් ගුවන් යානාවල ආරක්ෂාවට බරපතළ තර්ජනයක් වන බව පෙන්වා දෙන ගුවන් හමුදාව, අහසේ පාවෙන සරුංගල් නූල් හෝ වෙනත් සුන්බුන් වර්ග ගුවන් යානාවල එන්ජින් සහ පාලන පද්ධති තුළට ඇතුළු විය හැකි බව පවසයි. මේ හේතුවෙන් යානාවලට බරපතළ හානි සිදු වී ඒවායේ පාලනය ගිලිහී යාමට ඉඩ ඇති අතර, එය ගුවන් යානා කාර්ය මණ්ඩලයේ සහ මගීන්ගේ ජීවිත පවා දැඩි අනතුරකට ලක් කරන්නකි.

වත්මන් තත්ත්වය සලකා බැලීමේදී කටුනායක, රත්මලාන, මත්තල, හිඟුරක්ගොඩ, චීන වරාය, අනුරාධපුරය, පලාලි, කටුකුරුන්ද, කොග්ගල, වව්නියාව සහ වීරවිල යන ගුවන් තොටුපළවල් අවට ප්‍රදේශවල සරුංගල් යැවීමේ ප්‍රවණතාව ඉහළ ගොස් ඇති බව හඳුනාගෙන තිබේ. එබැවින් සමස්ත ගුවන් ගමන් ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන්, ගුවන් තොටුපළවල් සහ ගුවන් පථ ආසන්නයේ පදිංචි වැසියන් ඇතුළු සමස්ත මහජනතාවගෙන් ගුවන් හමුදාව ඉල්ලා සිටින්නේ මෙම සීමිත කලාප තුළ සරුංගල් යැවීමෙන් සම්පූර්ණයෙන්ම වැළකී සිටින ලෙසයි.

a-request-from-the-air-force-not-to-fly-kites-in-those-areas-after-an-airplane-entangled-with-kites-in-ratmalana

a-request-from-the-air-force-not-to-fly-kites-in-those-areas-after-an-airplane-entangled-with-kites-in-ratmalana