දේශීය වෙළෙඳපොළේ පවතින සැකසූ දියර කිරි සඳහා නව ඇෆ්ලටොක්සින් (Aflatoxin) මට්ටමක් නියම කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් සුවිශේෂී නියාමනයක් ප්‍රකාශයට පත් කර තිබේ. 2003 අංක 9 දරන පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පනතේ (සංශෝධිත) 12(2) වගන්තියට අනුව නිකුත් කර ඇති මෙම නව නියෝගය, එළඹෙන 2027 වසරේ ජනවාරි මස 8 වැනිදා සිට මෙරට තුළ නිල වශයෙන් ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
මෙම නව විධානයට අනුව සැකසූ දියර කිරි නිෂ්පාදන ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් පනවා ඇති SLS 1815 ප්‍රමිතියට අනුකූල විය යුතු අතර, එහි සඳහන් උපරිම ඇෆ්ලටොක්සින් සීමාව වන කිලෝග්‍රෑමයකට මයික්‍රෝග්‍රෑම් 0.5 (0.5 µg/kg හෝ ppb) ඉක්මවන කිසිදු නිෂ්පාදනයක් වෙළෙඳපොළට නිකුත් කිරීම සපුරා තහනම් වේ. ඒ අනුව අදාළ සීමාව ඉක්මවන දියර කිරි නිෂ්පාදනය කිරීම, සෑදීම, ආනයනය කිරීම, ඇසුරුම් කිරීම, සැපයීම, ගබඩා කිරීම මෙන්ම බෙදාහැරීම, ප්‍රවාහනය කිරීම, විකිණීම හෝ විකිණීම සඳහා ප්‍රදර්ශනය කිරීම නීතිවිරෝධී වෙයි. මෙම නීතිමය ප්‍රතිපාදන මෙරට සිටින සියලුම නිෂ්පාදකයින්, ආනයනකරුවන්, ඇසුරුම්කරුවන්, බෙදාහරින්නන් සහ වෙළෙඳුන් ඇතුළු සමස්ත සැපයුම් දාමයටම එකලෙස බලපැවැත්වෙන බව එම අධිකාරිය අවධාරණය කරයි.
සැකසූ දියර කිරිවල ඇෆ්ලටොක්සින් මට්ටම මෙලෙස දැඩි පරීක්ෂාවකට ලක් කිරීමට ප්‍රධානතම හේතුව වන්නේ සතුන් සඳහා ලබාදෙන සත්ත්ව ආහාරවල අඩංගු විය හැකි ඇෆ්ලටොක්සින් M1 (AFM1) නැමැති විෂ රසායනයයි. ඇස්පර්ජිලස් (Aspergillus) නැමැති දිලීර වර්ග මඟින් නිපදවන ඇෆ්ලටොක්සින් B1 (AFB1) අඩංගු බඩඉරිඟු, රටකජු, කපු ඇට වැනි දූෂිත ආහාර එළදෙනන් විසින් පරිභෝජනය කළ විට, උන්ගේ අක්මාව මඟින් එම විෂ වර්ගය ඇෆ්ලටොක්සින් M1 බවට පරිවර්තනය කරනු ලබයි. පසුව මෙම විෂ රසායනය එළදෙනන්ගේ කිරි හරහා පිටවන අතර, එම කිරි එකතු කර සකස් කිරීමෙන් පසුව ද මෙම විෂ කොටස් ඒ ආකාරයෙන්ම ඉතිරි වේ.
පාරිභෝගිකයින් මුහුණ දෙන ප්‍රධානතම අභියෝගය වන්නේ පැස්චරීකරණය, UHT තාක්ෂණය, තැම්බීම හෝ කිරිපිටි බවට පත් කිරීම වැනි සාමාන්‍ය තාප පිරියම් කිරීම් ක්‍රමවේද මඟින් මෙම විෂ රසායනය විනාශ නොවීමයි. කිරිපිටි නිෂ්පාදනයේදී ද මෙම විෂ ද්‍රව්‍ය කිරි ඝන ද්‍රව්‍ය සමඟ තවදුරටත් සාන්ද්‍රගත වන අතර, චීස් සෑදීමේදී ද එය ප්‍රෝටීන සමඟ බැඳෙමින් චීස් තුළ තැන්පත් විය හැකිය. මනුෂ්‍යයන්ට පිළිකා ඇති කිරීමට ඉඩ ඇති ද්‍රව්‍යයක් ලෙස වර්ග කර ඇති ඇෆ්ලටොක්සින් M1 ඉතා සුළු ප්‍රමාණවලින් ශරීරගත වීම පවා සෞඛ්‍යයට අහිතකරය. විශේෂයෙන්ම වැඩිහිටියන්ට සාපේක්ෂව තම ශරීර බර අනුව වැඩි කිරි ප්‍රමාණයක් පරිභෝජනය කරන ළදරුවන් සහ කුඩා ළමුන් මෙයින් දැඩි අවදානමකට ලක්වන අතර, දිගුකාලීනව මෙම විෂ ශරීරගත වීමෙන් බරපතළ සෞඛ්‍ය ගැටලු මතු විය හැකිය.
මෙම සෞඛ්‍ය අවදානම් අවම කිරීම සඳහා ලොව පුරා ආහාර ආරක්ෂණ බලධාරීන් විවිධ උපරිම සීමාවන් පනවා ඇති අතර යුරෝපා සංගමය විසින් පනවා ඇති සීමාව කිලෝග්‍රෑමයකට මයික්‍රෝග්‍රෑම් 0.05ක් තරම් ඉතා දැඩි අගයක් ගනී. ඇමරිකානු එක්සත් ජනපදයේ ආහාර හා ඖෂධ පරිපාලනය (FDA) විසින් පනවා ඇති සීමාව කිලෝග්‍රෑමයකට මයික්‍රෝග්‍රෑම් 0.5ක් වන අතර, යුරෝපා සංගමයේ නියාමනය ඇමරිකානු සීමාවට වඩා දස ගුණයකින් දැඩි වේ. කිරි නිෂ්පාදනයෙන් පසුව මෙම විෂ ඉවත් කිරීම අපහසු බැවින්, සත්ත්ව ආහාර නිසි පරිදි ගබඩා කිරීම, දිලීර වර්ධනය වැළැක්වීම, සත්ත්ව ආහාර නිරන්තර පරීක්ෂාවට ලක් කිරීම සහ පාරිභෝගිකයා වෙත ළඟාවීමට පෙර කිරි සාම්පල පරීක්ෂා කිරීම වැනි පූර්ව ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කිරීම මේ සඳහා ඇති එකම සහ හොඳම විසඳුමයි.