a-firearm-is-found-during-dengue-field-inspection-in-battaramulla

ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට සමගාමීව බත්තරමුල්ල, පැලවත්ත ප්‍රදේශයේ සිදු කළ විශේෂ පරිශ්‍ර පරීක්ෂාවකදී අපිරිසිදු තත්ත්වයේ පැවැති නිවසක තිබී සජීවී මදුරු කීටයන් සමග සජීවී ගිනි අවියක් සොයා ගැනීමට පරීක්ෂණ කණ්ඩායම් සමත්ව තිබේ.




බත්තරමුල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් ශ්‍රී ලංකා පොලීසිය, යුද හමුදාව, ගුවන් හමුදාව සහ රතු කුරුස සංවිධානයේ සහයෝගය ඇතිව මෙම ඒකාබද්ධ මෙහෙයුම ක්‍රියාත්මක කර ඇත.

සුනඛයන් විශාල සංඛ්‍යාවක් ඇති කරමින් ඉතා අශුද්ධ ලෙස පවත්වාගෙන ගිය අදාළ නිවස සෙවිල්ලට ලක් කිරීමේදී මෙම ගිනි අවිය හමු වී ඇති අතර, පසුව පොලීසිය විසින් එය භාරයට ගෙන නිවෙස් හිමි කාන්තාව අත්අඩංගුවට ගෙන තිබේ.




මීට අමතරව, සජීවී මදුරු කීටයන් සිටි තවත් පරිශ්‍රයක් පරීක්ෂා කිරීමේදී එහි හිමිකරු නිලධාරීන්ගේ රාජකාරියට බාධා පැමිණවීම හේතුවෙන් දෙපිරිස අතර උණුසුම් සංවාදයක් ද හටගෙන ඇත.

මදුරු කීටයන් සහිතව පරිශ්‍ර පවත්වාගෙන ගිය පුද්ගලයින් 13 දෙනෙකුට එරෙහිව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට පියවර ගෙන ඇති අතර, ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන වහා විනාශ කර මර්දන නිලධාරීන්ට අවශ්‍ය සහාය ලබා දෙන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටියි.

a-firearm-is-found-during-dengue-field-inspection-in-battaramulla