ලබන 2027 වර්ෂය වෙනුවෙන් තෝරාගනු ලබන පාසල් සිසුන්, පිරිවෙන් අධ්‍යාපනය ලබන ගිහි පැවිදි ශිෂ්‍යයන් මෙන්ම සීලමාතාවන් සඳහා නොමිලේ පාවහන් යුගල බැගින් ලබාදීමේ සුවිශේෂී වැඩපිළිවෙළකට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යවරිය ද වන අග්‍රාමාත්‍යවරිය විසින් ඉදිරිපත් කරන ලද යෝජනාවකට අනුව මෙම පියවර ගෙන ඇත.
මෙම සුභසාධන වැඩසටහන 2026 වසරේ තෙවැනි පාසල් වාරය අවසන් වීමට ප්‍රථමයෙන් සම්පූර්ණයෙන්ම නිම කිරීමට රජය සැලසුම් කර තිබේ.මීට ඉහතදී, එනම් 2026 වර්ෂය සඳහා ද ක්‍රමවේද දෙකක් ඔස්සේ ක්‍රියාත්මක කරන ලද මෙවැනිම පාවහන් බෙදාදීමේ ව්‍යාපෘතියක් මඟින් දිවයින පුරා විසිරී සිටින පාසල් සහ පිරිවෙන් සිසුන් 836,571 දෙනෙකු ආවරණය කිරීමට පියවර ගෙන තිබුණි. එම වසරේ ක්‍රියාත්මක වූ වැඩපිළිවෙළෙහි ප්‍රගතිය සහ සාර්ථකත්වය මැනවින් සමාලෝචනය කිරීමෙන් අනතුරුව, නව වසරේ වැඩසටහන ද වඩාත් විධිමත් අයුරින් ක්‍රියාවට නැංවීම සඳහා කැබිනට් මණ්ඩලයේ එකඟතාව මෙලෙස හිමිව ඇත.
ඒ අනුව, පළාත් මට්ටමින් වෙනස් ක්‍රමවේද දෙකක් ඔස්සේ මෙම පාවහන් බෙදාදීමේ කටයුතු සිදුකිරීමට නියමිතය. මෙහි පළමු ක්‍රමවේදය යටතේ බස්නාහිර, දකුණ, සබරගමුව, නැගෙනහිර සහ වයඹ යන පළාත්වල සිසුන් වෙනුවෙන් දේශීය පාවහන් නිෂ්පාදකයන්ගෙන් ඍජුවම පාවහන් මිලදී ගැනීමට තීරණය කර ඇති අතර, එම නිෂ්පාදකයන් විසින් අදාළ පාවහන් සෘජුවම පාසල් වෙතම ගෙනැවිත් භාරදීමට කටයුතු කරනු ඇත. මීට අමතරව මධ්‍යම, උතුර, උතුරුමැද සහ ඌව යන පළාත් සඳහා වෙනස්ම ක්‍රමවේදයක් අනුගමනය කෙරෙන අතර එහිදී අදාළ පළාත්වල තෝරාගත් පාසල් සිසුන්ට, පිරිවෙන් ගිහි පැවිදි සිසුන්ට සහ සීලමාතාවන්ට වෙළඳපොළෙන් තමන්ට අවශ්‍ය පාවහන් මිලදී ගැනීම සඳහා එක් අයෙකුට රුපියල් 3,000ක වටිනාකමකින් යුත් තිළිණ පත් බැගින් ලබාදීමට කටයුතු සූදානම් කර ඇත.