හොරණ මහජන ක්‍රීඩාංගණයේ පැවැති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණි පිරිසක් භාරදුන් ආරක්ෂිත හිස්වැසුම් 500කට ආසන්න ප්‍රමාණයක් එකවර අතුරුදන්වීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලිසිය විමර්ශන ආරම්භ කර තිබේ. සිද්ධියට ගොදුරු වූ පුද්ගලයන්ගෙන් මේ වන විටත් පැමිණිලි 70කට අධික සංඛ්‍යාවක් පොලිසිය වෙත ලැබී ඇත.
ප්‍රසංගය නැරඹීමට පැමිණි පිරිස සිය යතුරුපැදි හිස්වැසුම් ක්‍රීඩාංගණයෙන් පිටත මුදල් අයකරමින් ඒවා භාරගත් කාන්තාවකට තැන්පත් කර ඇතුළු වී තිබේ. කෙසේ වෙතත්, ප්‍රසංගය නිමවීමෙන් පසු නැවත හිස්වැසුම් ලබාගැනීමට පැමිණි අවස්ථාවේදී එම ස්ථානයේ තිබූ හිස්වැසුම් අතිබහුතරයක් අතුරුදන්ව ඇති බව අනාවරණය වී ඇත.
සිද්ධියට අදාළව හිස්වැසුම් භාරගෙන තිබූ හොරණ සති පොළේ සේවය කරන කාන්තාව අත්අඩංගුවට ගෙන ඇති අතර, ඇය අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පොලිසිය පියවර ගනිමින් සිටියි. ප්‍රසංගය අතරතුර මත්පැන් පානය කර සිටි කිසියම් පිරිසක් විසින් මෙම හිස්වැසුම් සොරාගනු ලැබුවේද, නැතහොත් වෙනත් ක්‍රමයකින් මේවා අතුරුදන් වූයේද යන්න සොයාබැලීම සඳහා ආරක්ෂිත කැමරා දර්ශන සහ අනෙකුත් සාක්ෂි ඇසුරෙන් පුළුල් පරීක්ෂණයක් ක්‍රියාත්මක වේ.
හොරණ මූලස්ථාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ, විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පරාක්‍රම ගුණරත්න මහතාගේ මෙහෙයවීමෙන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පැවැත්වේ.