
2019 නොවැම්බර් මාසයේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මෙරට ජනාධිපති ධුරයට පත්වීමත් සමඟ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන විමර්ශන නිලධාරීන් ඉලක්ක කරගනිමින් දේශපාලන ක්‍රියාවලියක් ආරම්භ වූ අතර, එහි ප්‍රතිඵලයක් ලෙස එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාව සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා එම තනතුරින් ඉවත් කරනු ලැබීය. 2019 නොවැම්බර් දක්වා කාලය තුළ මෙරට මහත් ආන්දෝලනයකට තුඩු දුන් අපරාධ රැසක් මෙන්ම පාස්කු දින එල්ල වූ ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳ විමර්ශන මෙහෙයවූයේද ඔහුගේ නායකත්වයෙනි.
මෙම දේශපාලන වෙනස්කම් මධ්‍යයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සේවය කළ නිලධාරීන් 704 දෙනෙකුට පොලිස් මූලස්ථානයේ පූර්ව අවසරයකින් තොරව මෙරටින් පිටවීම තහනම් කරමින් ඔවුන්ගේ නාම ලේඛන කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන කාර්යාලය වෙත යොමු කිරීමට පියවර ගැණුනි.මෙම තත්ත්වය වඩාත් උණුසුම් වූයේ වැඩබලන පොලිස්පතිවරයා විසින් ශානි අබේසේකර මහතාව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් කර ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පෞද්ගලික සහකාර තනතුරට මාරු කර යැවීමෙන් පසුවය. එම ස්ථාන මාරුව සම්බන්ධයෙන් රට තුළ දැඩි කතාබහක් නිර්මාණය වෙමින් පවතින පසුබිමක, ශානි අබේසේකර මහතා සමඟ සමීපව විමර්ශන රැසක නිරත වූ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා නොවැම්බර් 24 වන ඉරිදා දින පොලිස් දෙපාර්තමේන්තුවට පවා නොදන්වා හදිසියේම විදේශගත විය.
ශානි අබේසේකර සහ නිශාන්ත සිල්වා යන මහත්වරුන් මෙරට අපරාධ විමර්ශන ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම නිලධාරීන් දෙදෙනෙකු වන අතර, ඔවුන්ගේ අධීක්ෂණය යටතේ රගර් ක්‍රීඩක වසීම් තාජුදීන් ඝාතනය, කොළඹ අවට තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය, මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සහ රතුපස්වල වෙඩි තැබීම වැනි ප්‍රධාන පෙළේ සිදුවීම් විමර්ශනය කෙරිණි. මීට අමතරව රෝයල් පාර්ක් ඝාතනය, අඟුලාන ද්විත්ව මිනීමැරුම, උඩතලවින්න ඝාතන සහ මොහොමඩ් සියාම් ඝාතනය වැනි සංකීර්ණ අපරාධ රැසක අභිරහස් හෙළි කරගැනීමට ද ඔවුහු කටයුතු කළහ. එමෙන්ම රටම කම්පා කළ පාස්කු ඉරිදා මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව පිළිබඳ පරීක්ෂණ ද මෙහෙයවනු ලැබුවේ ශානි අබේසේකර මහතාගේ අධීක්ෂණය යටතේ වන අතර, ඒ සම්බන්ධයෙන් සොයා බැලූ විශේෂ පාර්ලිමේන්තු කමිටුව හමුවේ ද ඔහු සාක්ෂි ලබා දී තිබුණි.
පසුගිය යහපාලන රජය සමයේදී 2005 සිට 2015 දක්වා වූ මහින්ද රාජපක්ෂ පාලන කාලය තුළ සිදු වූ අපරාධ රැසක් නැවත විමර්ශනය කිරීම ආරම්භ වූ අතර, එම විමර්ශන බොහොමයක වගකීම පැවරුණේ මෙම නිලධාරීන් වෙතය. එම වකවානුවේදී දේශපාලන බලපෑම් මත රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ සමීපතමයන් අත්අඩංගුවට ගන්නා බවට චෝදනා එල්ල වුවද, තමන් කිසිදු පාර්ශවයකට යටත් නොවී නීතිය පමණක් නිසි ලෙස ක්‍රියාත්මක කරන බව ඔවුහු අවස්ථා ගණනාවකදී ප්‍රකාශ කළහ. එසේම, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ද එවකට හමුදා බුද්ධි අංශ නිලධාරීන් අත්අඩංගුවට ගැනීමට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විවේචනය කළ අතර, අදාළ අපරාධ සඳහා හමුදා බුද්ධි අංශ සම්බන්ධ වී ඇති බැවින් ඔවුන්ගෙන් තොරව විමර්ශන කළ නොහැකි බව රහස් පොලිසියේ ස්ථාවරය විය. මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතාව අගමැති කළ කෙටි කාලය තුළදී ද නිශාන්ත සිල්වා මහතාව මීගමුව කොට්ඨාසය වෙත මාරු කිරීමට එවකට පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා ආරක්ෂක ලේකම්වරයා වෙත ලිපියක් මඟින් දන්වා සිටියද, ඇති වූ දැඩි විවාදාත්මක තත්ත්වය හේතුවෙන් පසුව එම මාරුව අවලංගු කිරීමට සිදු විය.
එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා භික්ෂූන් වහන්සේලා පිරිසක් සමඟ පැවැති සාකච්ඡාවකදී චෝදනා කළේ නිශාන්ත සිල්වා ජිනීවා බලා පලා ගොස් ඇති බවයි. මෙම නිලධාරීන් පසුගිය වසර පහක කාලය තුළ රාජ්‍ය නොවන සංවිධානවල වුවමනාවන් මත ක්‍රියා කර ඇති බවත්, යුද්ධය මෙහෙයවූ රණවිරුවන්, නාවික හමුදාපතිවරයා, බුද්ධි අංශ නිලධාරීන් මෙන්ම තමන්වද සිරගත කිරීමට ඔවුන් උත්සාහ කළ බවත් ජනාධිපතිවරයා එහිදී ප්‍රකාශ කළේය. නීතියේ ආධිපත්‍යය හෝ සාධාරණය එය නොවන බව පැවසූ ජනාධිපතිවරයා, තමන්ගේ නම පවසන ලෙස විමර්ශකයින් විවිධ පාර්ශවයන්ට බලපෑම් කළ බවද සඳහන් කළේය. මෙම හමුවේදී භික්ෂූන් වහන්සේලා ද ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියේ ශානි අබේසේකර මහතාව අත්අඩංගුවට ගෙන ඔහු සිදු කළ සියලු විමර්ශන නැවත සමාලෝචනය කරන ලෙසයි.
කෙසේ වෙතත්, මෙම ක්‍රියාවලිය දැඩි දේශපාලන පළිගැනීමක් ලෙස එවක ප්‍රධාන විපක්ෂය වන එක්සත් ජාතික පක්ෂය හඳුන්වා දුණි. එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා ප්‍රකාශ කළේ ශානි අබේසේකර යනු කිසිදු පක්ෂ භේදයකින් තොරව, මුදලට මිලදී ගත නොහැකි මෙරට සිටින අංක එකේ අවංක විමර්ශන නිලධාරියා බවයි. මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කරමින් එජාප මන්ත්‍රීවරුන් සහ අර්ජුන ඇලෝසියස් අතර තිබූ සබඳතා හෙළි කළේද ඔහු බව පෙන්වා දුන් මන්ත්‍රීවරයා, හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කරගැනීමට උත්සාහ කරන පිරිස් විසින් ශානි අබේසේකරට එරෙහිව මෙවැනි අසත්‍ය ප්‍රචාර යවන බව පැවසීය. මීට අමතරව මෙම ස්ථාන මාරුව මිනීමරුවන්ගේ ජයග්‍රහණයක් සහ දූෂිතයන්ට ලැබුණු සහයෝගයක් බව මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා පැවසූ අතර, දෙමළ ජාතික සන්ධානයේ එම්. ඒ. සුමන්දිරන් මහතාද ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මෙය දේශපාලන අරමුණක් සහිත මාරුවක් බව සඳහන් කළේය.
එවක මාධ්‍ය සංවිධාන ද මෙම තීරණයට සිය දැඩි විරෝධය පළ කර තිබුණි. ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ජාතික පොලිස් කොමිසම වෙත ලිපියක් යොමු කරමින් කියා සිටියේ, නව රජයක් පත් වූ වහාම මෙම මාරුව සිදු කිරීමෙන් පැහැදිලි වන්නේ මෙහි ඇති දේශපාලන අවශ්‍යතාව බවයි. ලසන්ත වික්‍රමතුංග ඝාතනය ඇතුළු ජනමාධ්‍යවේදීන්ට එල්ල වූ ප්‍රහාර පිළිබඳ පරීක්ෂණ මෙහෙයවූ නිලධාරියා ඉවත් කිරීම එම අධිකරණ කටයුතුවලට මෙන්ම පරීක්ෂණවලට දැඩි බාධාවක් වන බව ඔවුන් පෙන්වා දුන් අතර ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය ද මෙම ස්ථාන මාරුව බරපතල සැකයකට තුඩු දෙන කරුණක් බව පවසමින් එය වහාම අවලංගු කරන ලෙස පොලිස් කොමිසමෙන් ඉල්ලා තිබුණි.
මාලිමා රජය යටතේ ශානි නැවත පාස්කු පරීක්ෂණ ඇරඹීම නිසා ගෝටාභය රාජපක්ෂ විසින් යටගසන්නට ගිය යමක් මතුවෙන්නට නියමිත බවත් ඒ නිසා බියවී ඇති බවත් සමාජ මාධ්‍ය තුළ විවේචන මතුවෙමින් පවතී.
