මෙරට ඔට්ටු ඇල්ලීමේ මධ්‍යස්ථාන විසින් අන්තර්ජාලය ඔස්සේ සිදු කරනු ලබන නීතිවිරෝධී ප්‍රචාරණ කටයුතු සම්බන්ධයෙන් වහාම පුළුල් විමර්ශනයක් ආරම්භ කරන ලෙස රජයේ මුදල් පිළිබඳ කාරක සභාව (COPF) විසින් ශ්‍රී ලංකා විදුලිසංදේශ නියාමන කොමිෂන් සභාව (TRC) ඇතුළු අදාළ ආයතන වෙත විශේෂ දැනුම්දීමක් සිදු කර තිබේ.
කිසිදු නියාමනයකින් තොරව ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක වන අන්තර්ජාල ඔට්ටු ඇල්ලීමේ වෙබ් අඩවි, සිය ප්‍රචාරණ කටයුතු ප්‍රසිද්ධියේම සිදු කරන්නේ කෙසේද යන්න පිළිබඳව රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රශ්න කර සිටියි. සිය සමාජ මාධ්‍ය ගිණුමක සටහනක් තබමින් ඔහු අවධාරණය කරන්නේ මෙය වත්මන් නීති පද්ධතියේ පවතින විශාල හිඩැසක් බවත්, මේ හේතුවෙන් රජයට උපයා ගත හැකිව තිබූ බිලියන ගණනක දැවැන්ත බදු ආදායමක් රටට අහිමි වෙමින් පවතින බවත්ය.
මෑතකදී කැඳවා තිබූ කාරක සභා රැස්වීමේදී මේ පිළිබඳව අදාළ රාජ්‍ය නිලධාරීන්ගෙන් දීර්ඝ ලෙස කරුණු විමසූ බව පවසන සභාපතිවරයා, ඇතැම් අන්තර්ජාල දැන්වීම් ප්‍රචාරණය සඳහා රජයේ නිල ලාංඡනය පවා අත්තනෝමතික ලෙස භාවිත කර ඇති අයුරු තමා දුටු බව හෙළි කළේය. මෙවැනි බරපතළ තත්ත්වයක් හමුවේ තවදුරටත් නිහඬව සිටිය නොහැකි බැවින්, මෙම ගැටලුව පිළිබඳව කඩිනමින් සොයා බලා පූර්ණ වාර්තාවක් කාරක සභාව වෙත ලබා දෙන ලෙසට අදාළ ආයතන වෙත විධිමත් නියෝගයක් නිකුත් කරන බව ද ඒ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියි.
