2016 වසරේ සිදුවූ මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළව පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක ඇතුළු විත්තිකරුවන් පිරිසකට එරෙහිව ගොනුකර තිබූ චෝදනා ඉවත දමමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් පසුගිය රනිල් වික්‍රමසිංහ ජනපති සමයේ ලබාදී තිබූ නියෝගය බලරහිත කළ ශ්‍රේෂ්ඨාධිකරණය, එම නඩු විභාගය නොපමාව යළි ආරම්භ කරන ලෙස නියෝග කර තිබේ. ජාතික ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල කළ, මහජන වැදගත්කමකින් යුතු මෙම නඩුව විශේෂිත තත්ත්වයක් මතු නොවන්නේ නම් දිනපතා විභාග කළ යුතු බවට ද පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් විසින් මහාධිකරණයට වැඩිදුරටත් දැනුම් දී ඇත.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් 2016 වසරේ මාර්තු මස 31 වැනිදා සිදුකරන ලද මතභේදාත්මක බැඳුම්කර නිකුතුවේදී රජයේ අරමුදල් සාවද්‍ය ලෙස පරිහරණය කරමින් මූල්‍ය අලාභයක් සිදුකළ බවට චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරා තිබිණි. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම, අර්ජුන් මහේන්ද්‍රන්, රවී කරුණානායක, අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන, ජෙෆ්රි ඇලෝසියස් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව පොදු දේපළ පනත යටතේ කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙලෙස අධිචෝදනා ගොනුකර තිබුණි.
කෙසේ වෙතත්, 2021 වසරේ දෙසැම්බර් 06 වැනිදා මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කළ මූලික විරෝධතාවක් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් පිළිගන්නා ලදි. පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගම ස්වාභාවික පුද්ගලයෙකු නොවන බැවින් එයට එරෙහිව පොදු දේපළ පනත යටතේ චෝදනා පවත්වාගෙන යා නොහැකි බවට විත්තියේ නීතිඥවරුන් ගෙන ආ තර්කය එහිදී පිළිගැනුණු අතර, ඒ හේතුවෙන් ප්‍රධාන සමාගමට මෙන්ම ඊට ආධාර අනුබල දුන් සෙසු විත්තිකරුවන්ට ද එරෙහිව නඩුව පවත්වාගෙන යාමට නොහැකි බව තීරණය කරමින් ඔවුන්ව චෝදනාවලින් නිදහස් කිරීමට මහාධිකරණය පියවර ගත්තේය.
මහාධිකරණයේ එම තීරණය අභියෝගයට ලක් කරමින් නීතිපතිවරයා විසින් පළමුව අභියාචනාධිකරණයටත්, ඉන් අනතුරුව ශ්‍රේෂ්ඨාධිකරණයටත් අභියාචනා ඉදිරිපත් කරන ලදි. එම ඇපෑල සලකා බැලූ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල, සමාගමක් යනු ආයතනික ව්‍යුහයක් වුවද අර්ථ නිරූපණ ආඥා පනත යටතේ එය පුද්ගලයෙකු ලෙස සැලකිය යුතු බව තීන්දු කළේය. ඒ අනුව, දණ්ඩ නීති සංග්‍රහයේ 386 වගන්තිය සමග කියවිය යුතු පොදු දේපළ පනතේ 5(1) වගන්තිය යටතේ සමාගමකට එරෙහිව අපරාධමය චෝදනා ගොනු කිරීමට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව විනිසුරු මහින්ද සමයවර්ධන මහතා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අවධාරණය කළේය.
ස්වාභාවික පුද්ගලයන්ගෙන් පමණක් නොව, ආයතනික ව්‍යුහයන් පිටුපස සිටින පුද්ගලයන් හරහා ද මෙවැනි රහසිගත සහ සංකීර්ණ මූල්‍ය වංචා සිදු කෙරෙන බවත්, ඉන් මහජන දේපළවලට අතිවිශාල පාඩුවක් සිදුවන බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ පැහැදිලි කර තිබේ. සමාගමකට සිරදඬුවම් නියම කළ නොහැකි වුවද, වරදකරුවන් වන අවස්ථාවකදී නීතිමය ප්‍රතිපාදන හරහා දඩ මුදල් පැනවීම මගින් දඬුවම් කිරීමේ හැකියාව පවතින බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.
මෙම අභියාචනා විභාගයේදී නීතිපතිවරයා වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටි අතර, වගඋත්තරකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන ෆයිස් මුස්තාපා, ෆයිසා මාකර්, නවීන් මාරපන සහ ශවීන්ද්‍ර ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත නීතිඥ මණ්ඩලයක් කරුණු ඉදිරිපත් කළහ. අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450(5)(අ) වගන්තිය යටතේ අදාළ නඩු විභාගය කඩිනම් කිරීමේ අවශ්‍යතාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මහාධිකරණය වෙත නියෝග කර ඇත.
