puttalam-is-a-mysterious-object-in-the-sky

පුත්තලම නගරය සහ ඒ අවට ප්‍රදේශවාසීන් දැඩි නොසන්සුන්තාවයට පත් කරමින් ඊයේ අලුයම් කාලයේදී එම ප්‍රදේශයේ අහසේ අතිශය දීප්තිමත් ආගන්තුක වස්තුවක් වේගයෙන් ගමන් කර තිබේ. මෙම අසාමාන්‍ය දර්ශනය සියසින් දැකගැනීම සඳහා විශාල පිරිසක් සිය නිවෙස්වලින් පිටතට පැමිණ ඇති අතර, සිද්ධිය දුටු කිහිපදෙනෙකු එය තමන්ගේ ජංගම දුරකථන මඟින් ඡායාරූපගත කිරීමටද පියවර ගෙන ඇත.




ප්‍රදේශවාසීන් පවසන පරිදි අඩි කිහිපයක දිගකින් යුක්ත වූ මෙම අද්භූත වස්තුව පසුපසින් රොකට්ටුවක හෝ මිසයිලයක ආකාරයෙන් ගිනි බෝල සහිත වල්ගයක් දක්නට ලැබී තිබේ. සාමාන්‍ය ගුවන් යානයකට වඩා අධික වේගයකින්, අහසේ අඩි 300ක පමණ උසකින් ඇදී ගිය මෙම වස්තුව පසුව පුත්තලම කලපුවට ඉහළින් ඈත අහස දෙසට ගමන් කර නොපෙනී ගොස් ඇත.

මෙම හදිසි තත්ත්වය හේතුවෙන් කිසියම් අනතුරක් සිදුවනු ඇතැයි යන බියෙන් ඇතැම් වැසියන් ආරක්ෂිත ස්ථාන කරා දිවගොස් සැඟවීමට පවා ක්‍රියා කර තිබේ. මෙම ආගන්තුක වස්තුවේ ස්වභාවය පිළිබඳව ජනතාව අතර විවිධ මත පළවෙමින් පැවතුණද, ඒ කිසිවක් සනාථ කිරීමට මෙතෙක් නිල සාක්ෂියක් අනාවරණය වී නොමැත. මේ හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් අදාළ බලධාරීන් මැදිහත් වී නිසි විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ලබාදෙනු ඇතැයි ප්‍රදේශවාසීහු බලාපොරොත්තුවෙන් පසුවෙති.




මේ අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය චන්දන ජයරත්න මහතා ප්‍රකාශ කර ඇත්තේ මෙය උල්කාපාතයක් වීමේ වැඩි ඉඩකඩක් පවතින බවයි. වසරේ ඕනෑම කාලයක රාත්‍රී හෝ අලුයම් කාලයේදී මෙවැනි උල්කාපාත දැකගත හැකි බව පෙන්වා දෙන ඒ මහතා, ගිනිමය වල්ගයක් සහිතව දිස්වීම එම නිගමනයට හේතු වූ බව සඳහන් කළේය. කෙසේ වෙතත්, මේ පිළිබඳව ස්ථිරවම ප්‍රකාශ කිරීම සඳහා ඉදිරියේදී පුළුල් අධ්‍යයනයක් සිදුකළ යුතු බවද මහාචාර්යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

puttalam-is-a-mysterious-object-in-the-sky