
ඊයේ (31) රාත්‍රියේ හයිලෙවල් මාර්ගයේ මීගොඩ මංසන්ධිය ආසන්නයේ පැවති රොටි දන්සලක පෝලිමේ රැඳී සිටි පිරිසක් මතට කැබ් රථයක් කඩා වැදීමෙන් සිදුවූ අතිශය ශෝකජනක රිය අනතුරකින් පුද්ගලයින් හය දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. අවිස්සාවේල්ල දෙස සිට කොළඹ දිශාවට ධාවනය වී ඇති මෙම කැබ් රථය පිරිස අතරට කඩා වැදීමෙන් පසු නොනවත්වා පලාගොස් ඇති අතර, අනතුරින් බරපතළ තුවාල ලැබූ පුද්ගලයින් දහතුන් දෙනෙකු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇත.
කෙසේ වෙතත්, රෝහලට ඇතුළත් කරන අවස්ථාව වන විටත් ඉන් හය දෙනෙකුම මියගොස් සිටි බව පොලීසිය තහවුරු කරයි.මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 15, 32 සහ 56 යන වයස්වල පසුවන කාන්තාවන් තිදෙනෙකු සහ වයස අවුරුදු 35 ත් 38 ත් අතර වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් තිදෙනෙකි. මියගිය කාන්තාවන් පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියන් වන අතර, පිරිමි පුද්ගලයින් හංවැල්ල, පාදුක්ක සහ අවිස්සාවේල්ල යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව වාර්තා වේ. මෙම මරණකරුවන් අතර පිළියන්දල ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් සහ ස්වාමිපුරුෂයාගේ මව මෙන්ම පාදුක්ක ප්‍රදේශයේ එකම පවුලේ සහෝදරයින් දෙදෙනෙකු ද වන බවට තොරතුරු අනාවරණය වී තිබේ. තවද,
මෙම අනතුරින් තුවාල ලැබූ කුඩා දරුවෙකු ඇතුළු තවත් පුද්ගලයින් හත් දෙනෙකු මේ වන විට හෝමාගම මූලික රෝහලේ නේවාසිකව වැඩිදුර ප්‍රතිකාර ලබමින් පසුවේ.
අනතුර සිදු කර පළාගිය කැබ් රථය සහ එහි රියදුරු නීතියේ රැහැනට කොටු කර ගැනීම සඳහා පොලීසිය වහාම ක්‍රියාත්මක වී ඇත. ඒ අනුව, ලුහුබැඳ ගිය පොලිස් නිලධාරීන් විසින් ගිනි අවි පෙන්වා අදාළ සැකකාර රියදුරාව ගොඩගම හන්දිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි 42 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, අනතුර සිදු වන අවස්ථාවේදී ඔහු අධික ලෙස මත්පැන් පානය කර සිටි බවට පොලීසිය විසින් මේ වන විට තහවුරු කරගෙන ඇත.
