ඩුබායි රාජ්‍යයේදී අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කරන ලද ප්‍රබල ගණයේ සාහසික අපරාධකරුවන් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගෙන තිබේ. 2026 ජුනි මස 13 වැනිදා රාත්‍රී කාලයේදී මෙම විශේෂ වැටලීම සිදුකර ඇති අතර, ඉන් අනතුරුව එම සැකකරුවන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදීමට කටයුතු කර ඇත.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිකුත් කළ නිවේදනයකට අනුව, මෙම සැකකරුවන් සම්බන්ධයෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සහ කොළඹ උතුර අපරාධ විමර්ශන කොට්ඨාසය එක්ව පුළුල් විමර්ශන පවත්වයි.මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත භාරදුන් පළමු සැකකරු කොළඹ 15 ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයෙකි. විදේශගතව සිටිමින් මෙරට සංවිධානාත්මක අපරාධ සහ මත්ද්‍රව්‍ය ජාවාරම් මෙහෙයවන "මෝදර නිපුණ" නැමැත්තාගේ සහෝදරයෙකු වන මොහු, කටුනායක ගුවන්තොටුපළ පර්යන්තයේ ස්ථාපිත කර ඇති ස්වයංක්‍රීය මුහුණු හඳුනාගැනීමේ පද්ධතිය ඔස්සේ හඳුනාගෙන තිබේ. මෙම පද්ධතිය වෙත 2025 වර්ෂයේ මාර්තු මස සිට මොහුගේ ඡායාරූපය ඇතුළත් කර තිබීම හේතුවෙන් මෙලෙස ගුවන්තොටුපළේදීම ඔහුව කොටුකර ගැනීමට හැකිවී ඇත. මෙම සැකකරු මීට පෙර 2019 වසරේදී පමුණුගම පොලිසිය මගින් ගංජා සන්තකයේ තබාගැනීමේ වරදටත් , 2020 වසරේදී මෝදර පොලිස් වසමේදී පුද්ගලයෙකුට පොල්ලකින් සහ උල් ආයුධයකින් පහරදී තුවාල සිදුකිරීමේ සිද්ධියකටත් අත්අඩංගුවට පත්වූ අයෙකි. මීට අමතරව, 2022 වසරේ නොවැම්බර් මාසයේදී කොළඹ ප්‍රධාන අංක 04 ගරු මහේස්ත්‍රාත් අධිකරණය මගින් මොහුට එරෙහිව වරෙන්තුවක්ද නිකුත් කර තිබී ඇත.
කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදුන් අනෙක් සැකකරු කොළඹ 14 ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි. දීර්ඝ කාලයක සිට විවිධ බරපතල අපරාධ රැසකට සම්බන්ධ වී ඇති මොහුට එරෙහිව, 2010 වසරේදී ගණේමුල්ල ප්‍රදේශයේදී පුද්ගලයෙකුට පහරදීම සම්බන්ධයෙන් අධිකරණයේ නඩු පවරා ඇති අතර එම වසරේම කැලණිය ප්‍රදේශයේදී හෙරොයින් මත්ද්‍රව්‍ය සමඟද ඔහු අත්අඩංගුවට පත්ව ඇත. තවද, 2015 වර්ෂයේ කොළඹ ප්‍රදේශයේ සිදුවූ වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක සැකකරුවෙකු වන මොහු , 2016 වසරේ මාළිගාවත්ත ප්‍රදේශයේදී බන්ධනාගාර බස් රථයකට වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දීම සම්බන්ධයෙන්ද කොළඹ ගරු ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු පැවරීමට ලක්වූවෙකි. එම වසරේදීම නීතිඥයෙකු මාර්ගයෙන් ගිනි අවියක් සහ පතරොම් ද රැගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත භාර වීමෙන් පසු අධිකරණයට ඉදිරිපත් කර නඩු පවරා රක්ෂිත බන්ධනාගාර ගත කර පසුව ඇප මත මුදාහැර තිබේ. මොහු 2018 වර්ෂයේදී ග්‍රෑන්ඩ්පාස් පොලිස් වසම තුළ පිස්තෝල අවියකින් වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කර තවත් තිදෙනෙකුට බරපතල තුවාල සිදුකිරීමේ සාහසික අපරාධයේ ප්‍රධාන සැකකරුවෙකු ලෙසද හඳුනාගෙන ඇත
