ලොව කුඩාම ජනරජය වන නාඌරූ (Nauru) රාජ්‍යය සිය යටත් විජිත අතීතයෙන් මිදී සිය දේශීය අනන්‍යතාවය, භාෂාව සහ උරුමය තහවුරු කර ගැනීමේ අරමුණින් සිය රටෙහි නාමය ‘නාවෙරෝ’ (Naoero) ලෙස වෙනස් කිරීමට මේ දිනවල සූදානම් වෙයි. ජනාධිපති ඩේවිඩ් අඩේන්ග් මහතා විසින් පසුගිය ජනවාරි මාසයේදී එරට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ මෙම යෝජනාවට කිසිදු විරෝධයක් එල්ල නොවූ අතර, 13,000ක් පමණ වන එරට ජනතාවගේ ජන්දයෙන් ජනමත විචාරණයක් හරහා එය නිල වශයෙන් තහවුරු කිරීමට නියමිතව ඇත.
දේශීය නාමය විදේශිකයන්ට නිවැරදිව උච්චාරණය කිරීමට අපහසු වූ නිසා ඔවුන්ගේ පහසුව උදෙසා අතීතයේදී මෙම දූපත් රාජ්‍යයට නාඌරූ යන නාමය ලබා දී තිබුණු බව රජය පවසයි.ඕස්ට්‍රේලියාවට කිලෝමීටර් 3000ක් පමණ ඊසාන දෙසින් පිහිටි මෙම දූපත 1798 වසරේදී බ්‍රිතාන්‍ය නාවිකයෙකු විසින් සොයාගැනීමෙන් පසු එහි සුන්දරත්වය නිසාම 'ප්ලෙසන්ට් අයිලන්ඩ්' (Pleasant Island) ලෙස නම් කර තිබුණි. ඉන්පසුව 1888 දී ජර්මනිය විසින්ද, 1919 දී ඕස්ට්‍රේලියාව විසින්ද පාලනය කරන ලද මෙය 1968 වසරේදී නිදහස ලබා ගත්තේය. යටත් විජිත සමයේදී මෙලෙස නම් වෙනස් කිරීම යටත් විජිත බලය පෙන්වීමේ අනිවාර්ය අංගයක් වූ බව ඇමරිකානු මහාචාර්යවරයෙකු වන සෝල්ටන් ග්‍රොස්මන් පෙන්වා දෙන අතර, තුර්කිය (Türkiye) සහ එස්වාටිනි (Eswatini) වැනි රටවල්ද මීට පෙර මෙලෙස යටත් විජිත නම් ඉවත් කර ඇත. මේ අතර නවසීලන්තය 'Aotearoa' ලෙසද, කුක් දූපත් බ්‍රිතාන්‍ය ජාතික ජේම්ස් කුක්ගේ නාමය ඉවත් කිරීමටද මේ වන විට අවධානය යොමු කර තිබේ.
මේ අතර, ඇමරිකා එක්සත් ජනපදයේ මැසචුසෙට්ස් හි නැන්ටකට් වෙරළ තීරයේදී අහඹු ලෙස අතිශය දුර්ලභ ගණයේ යෝධ සුදු මෝරෙකු (Great white shark) අල්ලා නැවතත් ආරක්ෂිතව මුහුදට මුදා හරින ලද ඇමරිකානු ජාතික ධීවරයෙකු පිළිබඳ පුවතක්ද වාර්තා වෙයි. එලියට් සුඩාල් නම් මෙම පුද්ගලයා විසින් සිය ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ගිණුම වෙත වීඩියෝවක් එක් කරමින් පෙන්වා දී තිබුණේ සාගර විලෝපිකයන් ආරක්ෂිතව අල්ලා යළිත් මුදා හරින ආකාරය පිළිබඳව අනෙකුත් අයට ආදර්ශයක් සැපයීමටයි. ඉරිදා දිනයේදී ජලය පරීක්ෂා කරමින් සිටියදී අහම්බෙන් මෙම මෝරා කොක්කට අසුවී තිබේ.
ඔහු සඳහන් කරන්නේ තමන් කිසිසේත්ම මෙම සුදු මෝරා ඉලක්ක කරගෙන මසුන් නොමැරූ බවත්, අහම්බෙන් ඇමකට අසුවූ එම සතාගේ වරල දුටු වහාම තත්වය වටහාගෙන එහි කොක්ක ගලවා තත්පර 15ක් වැනි කෙටි කාලයක් තුළ යළිත් මුහුදට මුදා හැරිය බවත්ය. වසර 13ක කාලයක් තුළ නැන්ටකට් හි මෝරුන් 1000කට වඩා අල්ලා ඇති ඔහු, ජාත්‍යන්තර රතු දත්ත පොතට අනුව අවදානමට ලක්වූ විශේෂයක් ලෙස නම් කර ඇති මෙවැනි යෝධ සුදු මෝරෙකු අල්ලාගත් පළමු අවස්ථාව මෙය බවද සඳහන් කළේය. මෙවැනි මෝරුන් ඇල්ලීම නීතියෙන් තහනම් වුවද අහඹු ලෙස ධීවර දැල් වලට හසුවන අවස්ථා ඇති බව එරට ජාතික සාගරික හා වායුගෝලීය පරිපාලනය පවසන අතර, මෙම වීඩියෝව නැරඹීමෙන් අනෙකුත් ධීවරයින්ද නිවැරදි උපකරණ භාවිතා කර මෙවැනි සතුන් ආරක්ෂිතව මුදා හැරීමට ඉගෙන ගනු ඇතැයි සුඩාල් වැඩිදුරටත් අපේක්ෂා කරයි.
