රජය විසින් නියම කර ඇති පාලන මිල ඉක්මවා සහල් අලෙවි කිරීමේ චෝදනා ලැබූ පිටකොටුවේ ප්‍රමුඛ පෙළේ සහල් වෙළෙඳ ආයතනයකට රුපියල් ලක්ෂ දහයක දඩයක් ගෙවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න මහත්මිය නියෝග කළාය. පාරිභෝගික කටයුතු අධිකාරිය විසින් පවරන ලද නඩු දෙකකට අදාළව විත්තිකාර සමාගම අධිකරණය හමුවේ වරද පිළිගැනීමෙන් අනතුරුව මෙම දඬුවම නියම විය.
මෙලෙස දැඩි දණ්ඩනයකට ලක්වූයේ පිටකොටුව පරණ යොන් වීදියේ පිහිටි ‘කින්ග් ෆිෂර් මාර්කටින්’ නමැති සහල් වෙළෙඳ ව්‍යාපාරයයි.පාරිභෝගික කටයුතු අධිකාරියේ නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලය සහ කොළඹ ප්‍රධාන කාර්යාලය විසින් මෙම නඩු දෙක පවරා තිබිණි. ඉන් පළමු නඩුවට අනුව, දේශීය නාඩු සහල් කිලෝවක් සඳහා රුපියල් 230ක උපරිම සිල්ලර මිලක් පනවා තිබියදී, 2026 ජනවාරි මස 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයකදී පාලන මිලට වඩා රුපියල් 10ක් වැඩියෙන් සහල් විකිණීම සම්බන්ධයෙන් විත්තිකාර ආයතනයට චෝදනා එල්ල වී තිබුණි. එහිදී ඔවුන් ‘නිව් රත්න’ වර්ගයේ දේශීය නාඩු සහල් කිලෝග්‍රෑම් 05ක බෑගයක් රුපියල් 1200ක මිලකට, එනම් කිලෝග්‍රෑමයක් රුපියල් 240 බැගින් පාරිභෝගිකයන් වෙත අලෙවි කර ඇත.
නාරාහේන්පිට දිස්ත්‍රික් කාර්යාලයේ විමර්ශන නිලධාරීන් වන එස්. ජී. පුංචිහේවා, හර්ෂණ කුමාර සහ පියල් සමරනායක යන මහත්වරුන් විසින් සිදුකළ වැටලීමකදී මෙම නීතිවිරෝධී සහල් අලෙවිය අනාවරණය කරගෙන ඇති අතර, එහිදී නිකුත් කර තිබූ බිල්පතද සාක්ෂි ලෙස ඉදිරිපත් කරමින් මෙම නඩු පවරා තිබුණි. මීට අමතරව, දේශීය කිරි සම්බා සහල් කිලෝග්‍රෑමයක් සඳහා රුපියල් 260ක උපරිම මිලක් නියම කර තිබියදී, පාලන මිල සීමාව උල්ලංඝනය කරමින් රුපියල් 80ක් වැඩියෙන්, එනම් කිලෝවක් රුපියල් 340 බැගින් අලෙවි කිරීම සම්බන්ධයෙන් දෙවැනි චෝදනාව එල්ල විය.
මෙම නඩු මුලින්ම කැඳවූ අවස්ථාවේදී විත්තිකාර ආයතනය තමන් නිවැරදිකරුවන් බව ප්‍රකාශ කිරීම හේතුවෙන් නඩු විභාගය පැවැත්වීමට අධිකරණය දින නියම කර තිබුණි. කෙසේ වෙතත්, පසුව නඩුව විභාගයට ගත් අවස්ථාවේදී විත්ති පාර්ශවය සිය පැරණි ස්ථාවරය වෙනස් කරමින්, එල්ල වී තිබූ චෝදනාවලට තමන් වරදකරු බව පිළිගැනීමට පියවර ගත්තේය.
පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ පාරිභෝගික කටයුතු අධිකාරියේ විමර්ශන නිලධාරී එස්.ජී. පුංචිහේවා මහතා අධිකරණයට පෙන්වා දුන්නේ පාරිභෝගික කටයුතු අධිකාරී පනත ප්‍රකාරව මෙවැනි වරදක් පළමු වරට සිදුකරන ආයතනයකට රුපියල් ලක්ෂ 05 සිට ලක්ෂ 50 දක්වා දඩයක් පැනවිය හැකි බවයි. එමෙන්ම, ව්‍යාපාරිකයන් විසින් වැඩි මිලට සහල් විකිණීමේ දැඩි ප්‍රවණතාවක් වත්මන් වෙළෙඳපොළ තුළ දක්නට ලැබෙන බැවින්, පාලන මිල ඉක්මවා කටයුතු කරන සෙසු වෙළෙඳුන්ටද මෙය දැඩි පණිවිඩයක් වන අයුරින් ආදර්ශමත් දඬුවමක් නියම කරන ලෙස ඔහු මහේස්ත්‍රාත්වරියගෙන් ඉල්ලා සිටියේය. විත්තිකාර ආයතනය නැවත වරක් මෙම වරද සිදුකළහොත් රුපියල් ලක්ෂ 10 සිට ලක්ෂ 100 දක්වා වූ විශාල දඩයකට යටත් විය හැකි බවද ඔහු එහිදී සඳහන් කළේය.
විත්තිකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේ තම සේවාදායකයා චෝදනාවලට වරද පිළිගනිමින් අධිකරණයේ වටිනා කාලය ඉතිරි කිරීමට කටයුතු කළ බැවින් ලිහිල් දඬුවමක් ලබාදෙන ලෙසයි. ඉදිරිපත් වූ සියලු කරුණු මැනවින් සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරිය, පනවා තිබූ චෝදනා නඩු දෙක සඳහා වෙන වෙනම රුපියල් ලක්ෂ පහ බැගින් සමස්තයක් ලෙස රුපියල් ලක්ෂ 10ක දඩ මුදලක් ගෙවන ලෙස විත්තිකාර ආයතනයට නියෝග කළාය.
