
කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයේ පිහිටි අල්ටෙයාර් සුඛෝපභෝගී නිවාස සංකීර්ණයේ 67 වැනි මහලෙන් බිමට වැටී සිසුවකු සහ සිසුවියක ජීවිතක්ෂයට පත්වීමේ සිදුවීම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් පවත්වා සවිස්තරාත්මක වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා කොම්පඤ්ඤවීදිය පොලිසියට නියෝග කර තිබේ.
පසුගිය 2024 වසරේදී සිදු වූ මෙම අවාසනාවන්ත සිදුවීමට අදාළ විමර්ශන ප්‍රගතිය විමසීම සඳහා මියගිය සිසුවාගේ මව වෙනුවෙන් ජනාධිපති නීතිඥ මෛත්‍රි ගුණරත්න මහතා විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරයා විසින් මෙම නියෝගය නිකුත් කර ඇත. එහිදී ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ ප්‍රකාශ කර සිටියේ මෙම මරණවලට අදාළ මහේස්ත්‍රාත් පරීක්ෂණය මෙතෙක් පවත්වා නොමැති බවයි.
මෙම කරුණු දැක්වීමට ප්‍රතිචාර දක්වමින් කොම්පඤ්ඤවීදිය පොලිසිය අධිකරණයට දන්වා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් හදිසි මරණ පරීක්ෂකවරයා විසින් මරණ පරීක්ෂණය පවත්වා ඇති බවයි. එමෙන්ම අවශ්‍ය සාක්ෂි කැඳවීම් සිදු කිරීමෙන් අනතුරුව, ඉදිරි සතියක කාලසීමාවක් ඇතුළත මහේස්ත්‍රාත් පරීක්ෂණය පැවැත්වීමට පියවර ගත හැකි බවද පොලිසිය මෙහිදී අධිකරණය හමුවේ සඳහන් කළේය.
මීට අමතරව, ජීවිතක්ෂයට පත් වූ සිසුවා සහ සිසුවිය භාවිත කළ ජංගම දුරකථන දෙකෙහි සිම්පත්වලට අදාළ දුරකථන දත්ත විශ්ලේෂණ වාර්තා කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානය වෙත ලබා දෙන ලෙසට පූර්වගාමී මහේස්ත්‍රාත්වරයා විසින් මීට පෙර නියෝග කර තිබූ බවද මෙහිදී අනාවරණය විය.