
නිතර හැඬීම හේතුවෙන් කුපිත වී මාස නවයක් වයසැති බිළිඳු දැරියකගේ දෑත්, දෙපා සහ උදරය පුටුවක තබා තදින් ගැටගසා, කුඩ මිටකින් සහ දෑතින් අමානුෂික ලෙස පහර දුන් බව කියන පුද්ගලයකු ලබන ජූලි මස 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පිටකොටුව බැස්ටියන් මාවතේ පැරණි බස් නැවතුම්පොළේ අංක 21 දරන කඩ කාමරයක නවාතැන් ගෙන සිටි ලක්ෂිත තුෂාර ධනංජය පෙරේරා නමැති සැකකරුය. ළමා හා කාන්තා කාර්යාංශයට ලැබුණු තොරතුරකට අනුව පිටකොටුව පොලිසිය විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.
පොලිසිය අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ කුඩා දැරිය පුටුවක බැඳ දමා කුඩයක යකඩ කූරක් වැනි දෙයකින් සහ අතින් පහර දෙමින් දරුණු ලෙස කෲරත්වයට පත් කිරීම සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව චෝදනා එල්ල වී ඇති බවයි. පසුගිය ජුනි 21 වැනිදා උදෑසන 7.30 ට පමණ මෙම බිළිඳාට අමානුෂික ලෙස පහර දෙන අයුරු දුටු අයෙකු විසින් ඒ පිළිබඳව ළමා හා කාන්තා කාර්යාංශය දැනුවත් කර තිබේ. ඉන් අනතුරුව ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරු අත්අඩංගුවට ගත් අතර,
මීට පෙර අවස්ථාවලදී ද මෙම දැරියට රාත්‍රී කාලයේදී පහර දී ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
මෙම දැරියගේ මව වාරියපොළ ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි තරුණියක වන අතර ඇය රජයේ වගකිවයුතු තනතුරු දරන මව්පියන්ගේ දියණියක බව පොලිස් ප්‍රකාශ මගින් හෙළි වේ. මැද පන්තියක හැදී වැඩුණු ඇය රැකියාවක් නොමැති පැතුම් අනුරුද්ධ නමැති පුද්ගලයෙකු සමඟ විවාහ වී දරුවෙකු ලැබීමෙන් පසු, රැකියාවක් සොයා ගැනීමේ අරමුණින් මීට දින කිහිපයකට පෙර දරුවා ද සමඟ කොළඹට පැමිණ ඇත. එහිදී දරුවාගේ පියා විසින් මව සහ බිළිඳා මෙම සැකකරුගේ භාරයේ තබා රැකියාවක් සෙවීම සඳහා පිටව ගොස් ඇති අතර, දින තුන හතරක් ගත වන තුරුත් ඔහු නැවත පැමිණ නැත. ඒ අනුව ඔවුන්ට ආහාර පාන සපයමින් තම කාමරයේ රඳවා තබා ගැනීමට සැකකරු කටයුතු කර තිබේ.
දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සැකකරු විසින් සිදුකර ඇති බවත්,
පහරදීමෙන් තුවාල ලැබූ බිළිඳා මේ වන විට ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර සිටින බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම අගතියට පත් කුඩා දැරිය ළමා මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර පරිවාස භාරයට පත් කිරීමට අවශ්‍ය ඉදිරි කටයුතු සිදුකරන බවද පොලිසිය වැඩිදුරටත් ප්‍රකාශ කළේය. මෙම නඩු වාරයේදී සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥවරයෙකු පෙනී නොසිටි අතර ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන මස 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.