අම්බලන්තොට තේරපුත්ත ජාතික පාසලේ පැවැති ක්‍රීඩා උත්සවයක් අතරතුරදී 15 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ සිදුවීමක් සහ එය වසන් කිරීමට උත්සාහ කිරීමේ චෝදනාව මත එම පාසලේ විදුහල්පතිවරයා, නියෝජ්‍ය විදුහල්පති පාර්ශ්වය සහ වෙනත් පාසලක පසුවන සැකකාර සිසුවකු අම්බලන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
සිදුවීම වීඩියෝගත කළ සිසුවාත් එම වීඩියෝ දර්ශන ළඟ තබාගත් සිසුවාත් වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය වෙත මුදාහළ සිසුවාත් මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
සැකකාර සිසුන් ඊයේ (22) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
ජාතික ළමා රක්ෂණ අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලකට අනුව වහාම ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් විසින් ඉකුත් 19 වැනිදා මෙම සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
පොලිස් මූලික විමර්ශනවලට අනුව මෙම සාපරාධී සිදුවීම ඉකුත් මැයි මස 21 වැනිදා හෝ ඊට ආසන්න දිනකදී සිදුව ඇත. අදාළ පාසලේ ක්‍රීඩා උත්සවය පැවැත්වෙමින් තිබූ අවස්ථාවේදී, එම උත්සවයට සහභාගි වීම සඳහා වෙනත් පාසලකින් පැමිණි 15 හැවිරිදි වියේ පසුවන සිසුවකු විසින් විද්‍යාලීය ගොඩනැගිලි අතර පිහිටි සැඟවුණු ස්ථානයකදී මෙම දැරිය අපයෝජනයට ලක් කර තිබේ. මෙම සිදුවීමේ ඇති වඩාත් බරපතළම කරුණ වන්නේ, අදාළ අපයෝජන ක්‍රියාව ජංගම දුරකථන ආධාරයෙන් දර්ශනගත කර, පසුව සමාජ මාධ්‍ය ජාල වෙත ද මුදාහැර තිබීමයි.
මෙම අපරාධය වසන් කිරීමට ක්‍රියා කිරීමේ සැකය මත පාසලේ විදුහල්පතිවරයා සහ නියෝජ්‍ය විදුහල්පතිවරයා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති අතර, වින්දිත දැරිය මේ වන විට වෛද්‍ය පරීක්ෂණ සඳහා රෝහල්ගත කර ඇත. අම්බලන්තොට පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂක අමිල රාජපක්ෂ මහතා සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා හම්බන්තොට මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවයි. එමෙන්ම, මෙම සිදුවීමට සහ වීඩියෝ පටය සමාජ මාධ්‍ය වෙත මුදාහැරීමට සම්බන්ධ තවත් කිහිපදෙනකු ළඟදීම අත්අඩංගුවට ගැනීමට නියමිත අතර අම්බලන්තොට පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන පවත්වාගෙන යනු ලබයි.