සමගි ජන බලවේගය විසින් පවත්වන ලද මාධ්‍ය හමුවකදී වරුණ රාජපක්ෂ නැමැත්තෙකු සිදුකළ ප්‍රකාශයක් මුළුමනින්ම ප්‍රතික්ෂේප කරමින් ජනතා විමුක්ති පෙරමුණ විශේෂ කරුණු පැහැදිලි කිරීමක් සිදුකර තිබේ. ජවිපෙ මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරන්නේ එම ප්‍රකාශය කිසිදු පදනමකින් තොර සාවද්‍ය එකක් බවයි.
ඊයේ 26 වනදා පැවැති එම මාධ්‍ය හමුවේදී වරුණ රාජපක්ෂ ප්‍රකාශ කර තිබුණේ,
"මාස දෙකකට වගේ කලින් චරිත් අබේසිංහ දවසක් දුරකථන ඇමැතුමක් දීලා මගෙන් අහනවා. වරුණ ඔයාට ටිල්වින් සිල්වා කතා කළොත් ඔයා කතා කරනවද කියලා .. මම චරිත් අයියා එහෙම මගෙත් එක්ක කිව්වා. ඔහුගේ ඉතාම සමීප හිතවතෙකු ඔහුට කතා කරලා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාව මුණගැහෙන්න අවශ්යයි කියලා ඔහුට හමුවෙන්න ඕනෑ කියලා කිව්වා කියල කිව්වා.
එහෙම කතා කළොත් ඔයා කතා කරනවද කියල ඇහුවාම මම කිව්ව චරිත් මට හම්බ වෙන්න ඕනේ නැහැ. කතා කරන්න ඕනෙත් නෑ මොකද මම මීට අවුරුදු පහළොවකට කලින් පැය ගානක් දවස් ගානක් කතා කරලා මට කතා කරන්න තියෙන දේවල් ඔක්කොම ඉවර කරගෙන තියෙන්නේ. හැබැයි ඔයාට මොකක් හරි හේතුවකට කතාකරනවා නම් කතා කරන්න ප්රශ්නයක් නෑ කියල. පස්සේ මම දන්න විදිහට චරිත් හම්බ වුනේ නෑ. හැබැයි ඊට පස්සේ ඔබ දන්නවා ඊට ටික දවසකට පස්සේ මාධ්ය සාකච්ඡාවකදී චරිත් අබේසිංහ කිව්වා ඔහුට ආණ්ඩුවෙන් ආරාධනාවක් ලැබුණා කියලා මේ දේශපාලන කතාබහකට ඔහුගේ පැත්තෙන් කිව්වා"
කෙසේ වෙතත් ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙන්නේ චරිත් අබේසිංහ නැමැති පුද්ගලයා කිසිදු අවස්ථාවක සිය පක්ෂයේ ප්‍රධාන ලේකම්වරයා සමඟ දුරකථන සන්නිවේදනයක නිරත වී නොමැති බවයි.
පාතාල සබඳතා සහ අල්ලස් සිදුවීම් කරළියට පැමිණීමත් සමඟ සමගි ජන බලවේගය දැඩි ලෙස කලබලයට හා දේශපාලන බංකොලොත්භාවයට පත්ව ඇති බව මෙම අසත්‍ය ප්‍රකාශයෙන් පැහැදිලි වන බව ජවිපෙ පවසයි. මෙවැනි ගෙතූ කතා මාධ්‍ය හමුවේ ප්‍රකාශ කිරීමට තරම් නිවට තත්ත්වයකට එම පක්ෂය පත්වීම කණගාටුදායක බවද ඔවුන් සඳහන් කරයි. විවිධ දේශපාලන වුවමනාවන් මත පුද්ගලයන්ගේ පසුබිම නොබලා පක්ෂවලට බඳවා ගැනීමේ අවශ්‍යතාවක් තමන්ට හෝ වත්මන් ආණ්ඩුවට නොමැති බවද එම නිවේදනයේ දක්වා ඇත.
අදාළ ප්‍රකාශය හරහා සාපරාධී සිදුවීම් කෙරෙහි පවතින මහජන අවධානය වෙනත් අතකට යොමු කිරීමටත්, අපරාධකරුවන් සුදුහුණු ගෑමටත් ඇතැමුන් උත්සාහ කරන නමුත් එය මුළුමනින්ම නිෂ්ඵල ක්‍රියාවක් බව ජනතා විමුක්ති පෙරමුණ වැඩිදුරටත් පෙන්වා දෙයි. මෙම සාවද්‍ය ප්‍රකාශයන් සහ අවලාද නැගීම් දැඩි ලෙස හෙළා දකින බව පවසන එම පක්ෂය, මින් ඉදිරියට මෙවැනි අසත්‍ය ප්‍රචාරයන් සිදු කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි ලෙස නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවද අවධාරණය කර සිටියි.