අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අත්අඩංගුවට පත්වූ නීතිඥ රඛිත රාජපක්ෂ මහතා වෙනුවෙන් අධිකරණය හමුවේ තමන් කිසිදු පෙනී සිටීමක් හෝ නියෝජනයක් සිදු නොකළ බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය (BASL) නිල වශයෙන් ප්‍රකාශ කරයි. පසුගිය බ්‍රහස්පතින්දා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමය කරුණු දැක්වූ බවට ඇතැම් මාධ්‍ය ආයතන විසින් පළ කරන ලද වාර්තා සම්පූර්ණයෙන්ම වැරදි සහගත බව පෙන්වා දෙමින් එම සංගමය විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.
තම සාමාජිකයෙකු සම්බන්ධ වන මෙවැනි නෛතික ක්‍රියාවලියකදී සංගමයට පැවරී ඇති වගකීම සහ කාර්යභාරය බෙහෙවින් සීමිත එකක් බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය පෙන්වා දෙයි. එවැනි අවස්ථාවකදී අදාළ අධිකරණ ක්‍රියාදාමයන් දෙස විමසිල්ලෙන් බලා සිටීම සහ ඉදිරි ආයතනික පියවරයන් සඳහා අවශ්‍ය තොරතුරු සංගමය වෙත වාර්තා කිරීම හැර වෙනත් කිසිදු සෘජු මැදිහත්වීමක් තම සංගමය විසින් සිදු නොකරන බවද එහි සඳහන් වේ.
එමෙන්ම, අදාළ නඩු විභාගයේදී නීතිඥ සංගමය නියෝජනය කරමින් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීම සඳහා තම විධායක කමිටුව මඟින් කිසිදු නීතිඥවරයෙකු වෙත අවසරයක් හෝ බලය පැවරීමක් සිදු කර නොමැති බවද එම සංගමය පවසයි. අත්අඩංගුවට පත්ව සිටින නීතිඥවරයා වෙනුවෙන් පෙනී සිටීමට ශ්‍රී ලංකා නීතිඥ සංගමය කිසිදු තීරණයක් ගෙන නොමැති බව එම නිවේදනය මඟින් වැඩිදුරටත් පැහැදිලි කර ඇත.