
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා වෙත දිනපතා පැමිණ ඔහුව බැලීමට ඔහුගේ බිරිඳට සහ පුත්‍රයාට අවසර ලබා දෙන ලෙස ඉදිරිපත් වූ ඉල්ලීමක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රතික්ෂේප කර තිබේ. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ලබාගත් රැඳවුම් නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු භාරයේ පසුවන ඒ මහතා, මේ වන විට කොළඹ ජාතික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවේ.
මෙම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා පෙන්වා දී ඇත්තේ, සැකකරු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ ප්‍රතිපාදනවලට යටත්ව රැඳවුම් භාරයේ පසුවන බැවින් මෙවැනි අවසරයක් නිකුත් කිරීමට අධිකරණයට නීතිමය බලයක් නොමැති බවයි.අධිකරණයෙන් මෙම තීන්දුව ලැබීමත් සමඟ, දැනට රෝහල්ගත කර සිටින සුරේෂ් සලේ මහතා හමුවීමට දිනපතා අවස්ථාව සලසා දෙන ලෙස ඉල්ලමින් ඔහුගේ බිරිඳ මෙන්ම නීතිඥ අසිත් සිරිවර්ධන මහතා ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා වෙත ලිඛිතව ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. එහිදී නීතිඥවරයා අවධාරණය කර ඇත්තේ සිය සේවාදායකයාගේ සුබසාධන කටයුතු සහ මූලික අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම තමන් සතු වෘත්තීයමය බැඳීමක් වන බවයි. මේ අතර, තමන්ව රඳවා තබා ගැනීමට එරෙහිව සහ එම රැඳවුම් නියෝගය අවලංගු කරන ලෙස ඉල්ලා සුරේෂ් සලේ මහතා විසින් ගොනු කර ඇති රීට් පෙත්සම වැඩිදුර සලකා බැලීමේ කටයුතු ලබන ජූලි මස 10 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය පියවර ගෙන ඇත.
මේ අතර, පාස්කු ඉරුදින එල්ල වූ බෝම්බ ප්‍රහාරයේ විමර්ශන කටයුතු වඩාත් විධිමත් හා ශක්තිමත් කරන ලෙස බල කරමින් සහ වින්දිතයන්ට නිසි සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමින් මීගමුව ප්‍රදේශයේදී නිහඬ විරෝධතාවක් සංවිධානය කර තිබිණි. කටුවපිටිය දේවස්ථානයේ වින්දිත පවුල්වල සාමාජිකයන්, පාස්කු ප්‍රහාරයෙන් පීඩාවට පත් ජනතාව සහ සිවිල් ක්‍රියාකාරීන් පිරිසක් එක්ව මෙම විරෝධතාව පවත්වා ඇති අතර, පසුව ඔවුන් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට ක්‍රියාත්මක වන සත්‍යග්‍රහ භූමිය වෙත ද පැමිණියහ. එහිදී වින්දිත ජනතාව වත්මන් රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ග අගය කරමින් සිය සහයෝගය පළ කිරීමට ද කටයුතු කර තිබේ.

