the-2026-fifa-world-cup-kicks-off-tomorrow---watch-head-on

ඔලිම්පික් උළෙල හැරුණුකොට ලොව විශාලතම ක්‍රීඩා මංගල්‍යය ලෙස සැලකෙන ලෝක කුසලාන පාපන්දු තරගාවලිය හෙට (12 වැනිදා) මෙක්සිකෝවේ මෙක්සිකෝ නුවරදී නිල වශයෙන් ආරම්භ වීමට නියමිතය.කැනඩාව, ඇමරිකා එක්සත් ජනපදය සහ මෙක්සිකෝව යන රටවල් ත්‍රිත්වයේ නගර 16ක පිහිටි ක්‍රීඩාංගණවලදී මෙවර තරගාවලිය ක්‍රියාත්මක වන අතර ඒ සඳහා රටවල් 48ක් සහභාගි වෙති. සමස්ත තරගාවලිය පුරා තරග 104ක් පැවැත්වීමට නියමිතය.

එහිදී මූලික වටයේ තරග සඳහා කණ්ඩායම් 48, එක් කාණ්ඩයකට කණ්ඩායම් 4 බැගින් වන සේ කාණ්ඩ 12කට බෙදා ඇත. ඉන් අනතුරුව කණ්ඩායම් 32ක් දෙවැනි වටයට සුදුසුකම් ලබන අතර එතැන් සිට පිළිමළුන් පිටුදැකීමේ ක්‍රමයට තරග පැවැත්වේ. සති 5කට අධික කාලයක් පුරා දිවෙන මෙම තරගාවලියේ අවසන් මහා තරගය ජූලි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතය.




ශ්‍රී ලංකාවේ වේලාවෙන් එදින මධ්‍යම රාත්‍රී 12.30 ට පැවැත්වෙන මෙම සුවිශේෂී තරගාවලියේ සමාරම්භක මංගල තරගය සඳහා සත්කාරක මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව තරග බිමට පිවිසෙති.

මෙම පළමු තරගය මෙක්සිකෝව සහ දකුණු අප්‍රිකාව අතර පැවැත්වුණද, ලොව පුරා සිටින පාපන්දු ප්‍රේක්ෂකයන්ගේ නෙත් යොමුව ඇත්තේ එම කණ්ඩායම් වෙත නොවේ. ඔවුන්ගේ පරම අවධානය දිනාගෙන ඇත්තේ වත්මන් ලෝක ශූරයන් වන ආර්ජන්ටිනාව සහ පෘතුගාලයයි. අපේ කාලයේ බිහිවූ විශිෂ්ටතම පාපන්දු තරු ද්විත්වය වන ලයනල් මෙසී සහ ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ මෙම රටවල් නියෝජනය කිරීම ඊට ප්‍රධානතම හේතුව වී තිබේ.




මෙවර 2026 ලෝක කුසලාන තරගාවලිය මෙසී මෙන්ම රොනාල්ඩෝ ද සහභාගි වන හය වැනි ලෝක කුසලානය වෙයි. දශක දෙකකට අධික කාලයක් මුළුල්ලේ පාපන්දු අධිරාජ්‍යයේ රජකම් කළ මෙම සුපිරි ක්‍රීඩකයන් දෙදෙනා මෙවර තරගාවලියේ අවසන් මහා තරගයේදී මුහුණට මුහුණ හමුවනු ඇතැයි ලෝකවාසී ප්‍රේක්ෂකයෝ දැඩි සේ විශ්වාස කරති.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ වත්මන් ශ්‍රේණිගත කිරීම්වලට අනුව ආර්ජන්ටිනාව පළමු ස්ථානයේ පසුවන අතර පෘතුගාලය පස්වැනි ස්ථානයේ පසුවේ. ආර්ජන්ටිනාව වත්මන් ලෝක ශූරයන් ද වන බැවින් සහ කණ්ඩායම් දෙකම දැනට දක්වන ඉහළ දක්ෂතා හේතුවෙන් ප්‍රේක්ෂකයන් මෙම සුබවාදී උපකල්පනයට එළඹ ඇත.



වයස අවුරුදු 39ක් වන ලයනල් මෙසී 2005 වසරේදී ප්‍රථම වතාවට ආර්ජන්ටිනා ජාතික කණ්ඩායමේ නිල ඇඳුමෙන් සැරසී පිටියට පිවිසි අතර, එතැන් සිට ජාත්‍යන්තර තරග 199කදී ගෝල 117ක් රැස් කර තිබේ. අනෙක් අතට, 41 වැනි වියේ පසුවන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ 2003 වසරේ අගෝස්තු 20 වැනිදා සිට වසර 23ක දීර්ඝ කාලයක් පුරා පෘතුගාලය නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග 222කදී ගෝල 143ක් ලබා ගනිමින් ලෝක වාර්තාවක් පිහිටුවා ඇත. රොනාල්ඩෝ මෙම ලෝක වාර්තාවට හිමිකම් කියන විට එහි දෙවැනි ස්ථානය හිමි කරගෙන සිටින්නේ ද මෙසී වීම විශේෂත්වයකි.

මෙම ක්‍රීඩකයන් දෙදෙනාගේ වයස සහ වත්මන් තරග රටාව සැලකිල්ලට ගැනීමේදී, ලෝක කුසලාන තරගාවලියකදී ඔවුන් දෙදෙනා එකිනෙකා හමුවීමට ලැබෙන අවසන් අවස්ථාව මෙය විය හැකිය. මේ හේතුවෙන් ලොව විශාලතම පාපන්දු වේදිකාවේදී අපේ කාලයේ මෙම සදාකාලික ප්‍රතිවාදීන් දෙදෙනාගේ ගැටුම දැක ගැනීමට ලෝකවාසී ප්‍රේක්ෂකයන් මහත් නොඉවසිල්ලෙන් පසුවෙති.

මෙම දැවැන්ත ක්‍රීඩා මංගල්‍යයේ සියලුම තරග ශ්‍රී ලංකාව තුළ නොමිලේ විකාශය කිරීමේ පූර්ණ අයිතිය කැපිටල් මහාරාජා සමූහය විසින් ලබාගෙන ඇත. ඒ අනුව හෙට මධ්‍යම රාත්‍රී 12.30 ට ආරම්භ වන සමාරම්භක තරගයේ සිට ජූලි මස 20 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය දක්වා වූ සියලුම තරග කැපිටල් මහාරාජා සමූහයට අයත් ‘සිරස’, ටීවී-1 සහ ශක්ති ටීවී නාලිකා ඔස්සේ සජීවීව විකාශය කෙරේ.

තරග සජීවීව පැවැත්වෙන වේලාවන් ශ්‍රී ලංකාවේ වේලාවෙන් මධ්‍යම රාත්‍රී 12.00 ත් උදෑසන 9.00 ත් අතර වන බැවින්, ප්‍රේක්ෂක පහසුව තකා තෝරාගත් සුවිශේෂී තරග කිහිපයක් අදාළ දිනවලදීම පස්වරු 2.00 සිට නැවත විකාශය කිරීමට ද මෙම නාලිකා ත්‍රිත්වය කටයුතු යොදා ඇත. මෙවර තරගාවලියේ සත්කාරකත්වය දරන කැනඩාවේ වැන්කුවර් සහ ටොරොන්ටෝ නගරවලදීත්, මෙක්සිකෝවේ මෙක්සිකෝ නුවර, ගුවාඩලාජාරා සහ මොන්ටෙරි යන නගරවලදීත් තරග පැවැත්වෙන අතර ඇමරිකා එක්සත් ජනපදයේ පමණක් නගර 11කදී තරග පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත.