දකුණු පළාත් චෙස් සංගමය විසින් සංවිධානය කරන ලද දකුණු පළාත් පාසල් චෙස් තරඟාවලියේදී සහභාගී වූ සිසුන්ට සහ දෙමාපියන්ට මුහුණ දීමට සිදු වූ බරපතළ අසාධාරණකම් රැසක් පිළිබඳව මේ වන විට මාධ්‍ය වෙත තොරතුරු අනාවරණය වී තිබේ. පසුගිය ජුනි 19, 20 සහ 21 යන දිනවල පැවැත්වීමට කටයුතු යොදා තිබූ මෙම තරඟාවලිය, දකුණු පළාත් චෙස් සංවිධායක යසස් නමැත්තාගේ අත්තනෝමතික සහ හිතුවක්කාරී තීරණ හේතුවෙන් සම්පූර්ණයෙන්ම අර්බුදකාරී තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වේ.
තරඟාවලිය පැවැත්වෙන ස්ථානය නිසි පරිදි ප්‍රසිද්ධ නොකරන ලෙස මුලින් එකඟතාවක් තිබුණද, ඔහු විසින් 'School Chess 1' නමැති සමූහය වෙත අදාළ තොරතුරු නීති විරෝධී ලෙස මුදාහැරීමත් සමඟ මෙම ගැටලු මාලාව ආරම්භ වී ඇත.නවාතැන් සහ වාහන නැවැත්වීමේ පහසුකම් අවම, හුදෙකලා ප්‍රදේශයක් වන හම්බන්තොට වීරකැටිය ප්‍රදේශයේ මෙම තරඟාවලිය පැවැත්වීමට සංවිධායකවරයා කටයුතු කර ඇත්තේ ගාල්ල හෝ මාතර වැනි පහසුකම් සහිත නගරයක මෙය පවත්වන ලෙස දෙමාපියන් සහ පුහුණුකරුවන් කළ ඉල්ලීම් සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරමිනි. මේ පිළිබඳව අදාළ පාසලේ විදුහල්පතිවරයාගෙන් සහ කලාප අධ්‍යාපන කාර්යාලයෙන් විමසීමේදී හෙළි වී ඇත්තේ, මෙම තරඟාවලිය සඳහා ඔවුන් කිසිදු නිල අවසරයක් ලබා දී නොමැති අතර ඒ පිළිබඳව කලාප අධ්‍යක්ෂවරයාගේ නිල දැනුම් දීමක් හෝ ලිපියක් පවා ලැබී නොතිබූ බවයි. තමන්ට වසර ගණනාවක පළපුරුද්දක් ඇති බව පවසමින් ඉතාමත් රූඪ ලෙස සහ දැඩි ස්වරයෙන් කෑගසමින් කටයුතු කර ඇති මෙම සංවිධායකවරයා, බලහත්කාරයෙන් තනතුරට පැමිණි අයකු බවටත් ඔහුට එරෙහිව මීට පෙරද චෝදනා රැසක් තිබී ඇති බවටත් තොරතුරු හෙළි වේ.
තරඟාවලිය ආරම්භ කරන වේලාවන් නිරන්තරයෙන් වෙනස් කරමින් දෙමාපියන් සහ සිසුන් දැඩි අපහසුතාවට පත් කිරීමට සංවිධායක මඩුල්ල කටයුතු කර තිබේ. ප්‍රථමයෙන් සවස 3.00 ට තරඟ ආරම්භ වන බව පවසා පසුව එය 3.30 දක්වා කල් දමා ඇති අතර, පසුදින අම්බලන්ගොඩ සහ ගාල්ල වැනි දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන සිසුන්ට සවස 2.30 වන විට පැමිණෙන ලෙස දන්වා ඇත. ඒ අනුව 90% කට වඩා වැඩි පිරිසක් නියමිත වේලාවට පැමිණ සිටියද, දහවල් වන විටත් ප්‍රසිද්ධ කර තිබුණේ දැරියන්ගේ නාමලේඛනය පමණක් වන අතර පිරිමි ළමුන්ගේ නාමලේඛන ප්‍රකාශයට පත් කර නොතිබුණි. ඒ පිළිබඳව විමසීමේදී වීරකැටිය ප්‍රදේශයට අන්තර්ජාල සංඥා නොමැති බව පවසමින් සංවිධායකවරයා නිදහසට කරුණු ඉදිරිපත් කර ඇතත්, සැබවින්ම ඒ වන විටත් තරඟ ශාලාවේ ඩෙස්ක්, පුටු හෝ බංකු පවා සකස් කර නොතිබූ බව දෙමාපියන් පවසති. තරඟාවලිය සඳහා වෙන් වූ ප්‍රතිපාදන සහ මුදල් අවභාවිත කිරීමේ අරමුණින් පහසුකම් රහිත මෙවැනි දුර බැහැර ප්‍රදේශයක් තෝරාගෙන ඇති බවටද චෝදනා එල්ල වේ.
දිගින් දිගටම සිදු වූ ප්‍රමාදයන් හමුවේ සවස 5.10 ට තරඟ ආරම්භ කරන බව පැවසුවද, සවස 6.30 වන විටත් තරඟ ආරම්භ කිරීමට සංවිධායකවරුන් අපොහොසත් වී ඇත. අවසානයේ රාත්‍රී 7.00 ට පමණ දැඩි අන්ධකාරය මධ්‍යයේ තරඟ ආරම්භ කිරීමට කටයුතු කිරීමත් සමඟ වයස අවුරුදු 6, 8 සහ 10 වැනි කුඩා දරුවන් දැඩි මානසික පීඩනයකට ලක්ව තිබේ. රාත්‍රී කාලයේදී මෙවැනි කුඩා දරුවන් නිදාගත යුතු වේලාවක අඳුරේ තරඟ පවත්වන්නේ කෙසේදැයි දෙමාපියන් ප්‍රශ්න කළ විට, "මුන් බබ්බු නෙමෙයි" යනුවෙන් පවසමින් සංවිධායකවරයා දෙමාපියන්ට දැඩි ලෙස බැණ වැදී දරුවන් දමා ශාලාවෙන් පිටතට යන ලෙස නියෝග කර ඇත.
ලංකාවේ සෙසු පළාත් අටේම දරුවන් දින තුනක් පුරා වට හතක් ඉතා සැහැල්ලුවෙන් සහ නිසි විවේකයක් සහිතව ක්‍රීඩා කරන විට, දකුණු පළාතේ දරුවන්ට පමණක් මෙම වට හතම දින දෙකක් ඇතුළත ක්‍රීඩා කිරීමට සැලැස්වීමෙන් ඔවුන්ට දැඩි අසාධාරණයක් සිදුව ඇත. චෙස් යනු මොළය වෙහෙසා කරන ක්‍රීඩාවක් වුවද, මෙවැනි අත්තනෝමතික තීරණ නිසා දරුවන්ගේ දක්ෂතා මෙන්ම ඔවුන්ගේ චෙස් අනාගතයද විනාශ වෙමින් පවතී. හදිසියේම තරඟාවලිය පවත්වන ස්ථාන වෙනස් කිරීම හේතුවෙන් නවාතැන් සොයා ගැනීමට නොහැකිව අසරණ වූ එක් මවක්, තම සැමියා අහිමි වී මාස හයක බිළිඳකුද වඩාගෙන සිය අට හැවිරිදි දරුවා වෙනුවෙන් අම්බලන්ගොඩ සිට විශාල බස් රථයකින් පැමිණීමට සිදු වූ කණගාටුදායක පුවතක්ද වාර්තා වේ. සංවිධායකවරයාගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන සහ මුදල් ගසාකෑමේ අරමුණු වෙනුවෙන් දරුවන්ගේ අනාගතය බිලිදී ඇති අතර, මෙම සමස්ත සිදුවීම සහ සංවිධායකවරයාගේ හැසිරීම් සනාථ කිරීමට අවශ්‍ය ඡායාරූප මෙන්ම වීඩියෝ දර්ශනද සාක්ෂි වශයෙන් දෙමාපියන් සතුව පවතී.
