උතුරු කොළඹ රාගම ශික්ෂණ රෝහලේ සේවය කරන අධිකරණ වෛද්‍ය නිලධාරියෙකු, දහසය හැවිරිදි බාලවයස්කාර පාසල් සිසුවෙකු බරපතළ ලිංගික අපයෝජනයකට ලක් කිරීමේ චෝදනාව මත වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබන 26 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කර තිබේ. පමුණුගම පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ මෙම වෛද්‍යවරයා පසුගිය 22 වැනිදා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී ඇත.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාරගත කර සිටින සැකකාර අධිකරණ වෛද්‍යවරයා මීරිගම, බෙම්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. ඔහු විසින් අදාළ පාසල් සිසුවා තමන්ගේ නිවස වෙත කැඳවාගෙන ගොස් මෙම ලිංගික අපයෝජනය සිදු කර ඇති බවට පොලිසිය පවසයි. මේ වන විට අපයෝජනයට ලක්වූ බව කියන දහසය හැවිරිදි සිසුවාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා ද යොමු කිරීමට පියවර ගෙන ඇත.
ලැබුණු පැමිණිල්ලකට අනුව ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන්, වින්දිත සිසුවාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, එහිදී අනාවරණය වූ සාක්ෂි සහ කරුණු මත පදනම්ව මෙම සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන තිබේ. නීත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිරීම සහ බරපතළ ලිංගික අපයෝජනය සිදුකිරීම යන චෝදනා යටතේ මොහුට එරෙහිව නීතිමය පියවර ගෙන ඇත.
බස්නාහිර පළාත භාර නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතාගේ සෘජු අධීක්ෂණය සහ බස්නාහිර උතුරු දිසා භාර නියෝජ්‍ය පොලිස්පති නීතිඥ කාලිංග ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි මෙම විමර්ශන ක්‍රියාත්මක විය. මීගමුව කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බිමල් පෙරේරා මහතාගේ මෙහෙයවීමෙන්, පමුණුගම පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉමක සංජීව මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරී කණ්ඩායමක් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර පමුණුගම පොලිසිය මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ පවත්වයි.