
මුලතිව් සහ කිලිනොච්චිය ප්‍රදේශවල පැවති එල්.ටී.ටී.ඊ. කඳවුරුවලින් සහ ඒ අවටින් යුද හමුදාව විසින් සොයාගනු ලැබූ රන් ආභරණ කිලෝග්‍රෑම් 150ක් අධිකරණයට භාරදීමේ කටයුතු මේ වන විට සිදුවෙමින් පවතින බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා ප්‍රකාශ කළේය.
ඊයේ (23) පාර්ලිමේන්තුවේදී යාපනය දිස්ත්‍රික් මන්ත්‍රී ශිවඥානම් ශ්‍රීධරන් මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී ඔහු පැහැදිලිවම කියා සිටියේ ශ්‍රී ලංකා යුද හමුදාව කිසිදු අවස්ථාවක උතුරු නැගෙනහිර දෙමළ ජනතාවගෙන් ස්වර්ණාභරණ බලහත්කාරයෙන් ලබාගෙන නොමැති බවයි.මෙම රන් භාණ්ඩ අධිකරණයට ඉදිරිපත් කිරීමේ ක්‍රියාවලිය අධිකරණය, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය සහ ශ්‍රී ලංකා මහ බැංකුව ඒකාබද්ධව සිදුකරන සංකීර්ණ වැඩපිළිවෙළක් බව හෙතෙම පෙන්වා දුන්නේය. මෙම භාරදීමේ කටයුතු ඉදිරි මාස තුන ඇතුළත අවසන් කිරීමට බලාපොරොත්තු වන බව පැවසූ නියෝජ්‍ය අමාත්‍යවරයා, ඉන් අනතුරුව එම ස්වර්ණාභරණ ඒවායේ සැබෑ අයිතිකරුවන් වෙත භාරදීමේ විධිමත් වැඩපිළිවෙළක් ආරම්භ කරන බවද ප්‍රකාශ කළේය.
පසුගිය 2014 වර්ෂයේදී ද එවකට පැවති රජය විසින් අනන්‍යතාව තහවුරු කරගනු ලැබූ පුද්ගලයන් 2015 දෙනෙකු සඳහා මෙලෙස සොයාගත් ස්වර්ණාභරණ නැවත ලබාදීමට කටයුතු කර තිබුණි. ඉතිරිව ඇති රන් භාණ්ඩ ද එවැනිම විනිවිදභාවයකින් යුතු වැඩපිළිවෙළක් යටතේ සැබෑ හිමිකරුවන් සොයා භාරදීමට කටයුතු සූදානම් කර ඇත. කෙසේ වෙතත්, මෙම රන් භාණ්ඩවල අයිතිකරුවන් පිළිබඳ සම්පූර්ණ තොරතුරු මේ වන විට හමුදාව සතුව නොමැති අතර, අධිකරණ ක්‍රියාවලිය නිමවීමෙන් පසුව ඒ සඳහා සුදුසුම ක්‍රියාමාර්ගයක් ගන්නා බවද අරුණ ජයසේකර මහතා වැඩිදුරටත් කියා සිටියේය.
එල්.ටී.ටී.ඊ කඳවුරුවලින් සොයාගත් මෙම ස්වර්ණාභරණ පිළිබඳව කිසිදු අවස්ථාවක මැතිවරණ වේදිකාවල හෝ මැතිවරණවලට අදාළ වෙනත් සාකච්ඡාවලදී කතාබහට ලක්ව නොමැති බව නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය. එමෙන්ම, මෙම රන් ආභරණවලට අදාළ කිසිදු කරුණක් ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයට ද ඇතුළත් කර නොමැති බව ඔහු පාර්ලිමේන්තුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේය.