වට්ස්ඇප් සමාජ මාධ්‍ය ජාලය ඔස්සේ ක්‍රියාත්මක වූ වංචනික මාර්ගගත ආයෝජන ක්‍රමයකට හසුවීම හේතුවෙන් හැටවැනි වියේ අගභාගයේ පසුවන විශ්‍රාමික වෘත්තීය ඉංජිනේරුවරියකට රුපියල් මිලියන නවයකට අධික මුදලක් අහිමි වී තිබේ. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය (SLCERT) විසින් අනාවරණය කර ඇති පරිදි, මෙම වංචාවට ගොදුරු වූ තැනැත්තිය මෙරට රාජ්‍ය මෙන්ම පෞද්ගලික අංශයන්හි වසර හතළිහකට වැඩි සේවා කාලයක් සපුරා ඇති අයෙකි.
ප්‍රසිද්ධ නිවාස සංකීර්ණයක පිහිටි නිවසක් මෙන්ම රුපියල් මිලියන 10 ඉක්ම වූ බැංකු තැන්පතු හිමාරිත්වයක් පැවති ඇය මූල්‍යමය වශයෙන් බෙහෙවින් ස්ථාවරව පෞද්ගලික විශ්‍රාමික නිවාස පහසුකමක් යටතේ දිවි ගෙවා ඇත. ඇය උසස් අධ්‍යාපනයක් ලබා තිබූ අතරම, මාර්ගගත බැංකු කටයුතු සහ ප්‍රවාහන යෙදවුම් වැනි නවීන තාක්‍ෂණික මෙවලම් පරිහරණය පිළිබඳව මනා අවබෝධයකින් පසුවුවද, ආයෝජන උපදේශකවරුන් ලෙස පෙනී සිටි සංවිධානාත්මක වංචාකරුවන් කණ්ඩායමකගේ සූක්ෂ්ම උගුලකට මෙලෙස හසුවී තිබේ.සෑම මාස තුනකට වරක්ම ආයෝජනය කරනු ලබන මුදල දෙගුණ කර දෙන බව පවසමින් ලැබුණු අසාමාන්‍ය වට්ස්ඇප් පණිවිඩයක් මුල් කරගනිමින් මෙම මූල්‍ය වංචාව ආරම්භ වී ඇති බව පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි. මෙම අධික ලාභය කෙරෙහි විශ්වාසය තබා ඇය මුදල් තැන්පත් කිරීම ආරම්භ කර ඇති අතර, මුල් මාස කිහිපය තුළදී ඇයට යම් ප්‍රතිලාභ මුදලක්ද ගෙවීමට වංචාකරුවන් කටයුතු කර ඇත. මෙමගින් අදාළ ව්‍යාපාරය නීත්‍යානුකූල එකක් බවට ඇය තුළ දැඩි විශ්වාසයක් ඇති කරවීමට වංචාකරුවන් සමත් වී තිබේ. කෙසේ වෙතත්, පසුව හෙළි වී ඇත්තේ ඇයට මුල් අවස්ථාවේදී ලැබුණු එම ප්‍රතිලාභ මුදල්, වෙනත් කිසිදු ආයෝජනයකින් උපයා ගත් ඒවා නොව ඇය විසින්ම ලබාදුන් මුදල්වලින් කොටසක් බවයි. මෙය මෙවැනි වංචනික මූල්‍ය උපක්‍රමයන්හි භාවිත වන සාමාන්‍ය ක්‍රමවේදයකි.
කාලයත් සමඟ අදාළ ගෙවීම් සීමා වී පසුව සම්පූර්ණයෙන්ම නැවතී ඇති අතර, එහිදී මතු වූ ගැටලුවලට විවිධ ව්‍යාජ හේතු ඉදිරිපත් කරමින් ඇයව තවදුරටත් මුදල් ආයෝජනය කිරීමට වංචාකරුවන් පොළඹවා ගෙන ඇත. මේ අයුරින් ඇය විසින් අවස්ථා කිහිපයකදී කරන ලද සමස්ත ආයෝජනය රුපියල් මිලියන 10කට ආසන්න වී තිබේ. ඇය මේ පිළිබඳව සැක සිතී පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ සහය පතන අවස්ථාව වන විටත්, ඇය සතු නිවස පවා විකුණා එම මුදල්ද මෙම ක්‍රමයට යොදවන ලෙස වංචාකරුවන් ඇයට දැඩි බලපෑම් එල්ල කරමින් සිට ඇත. එහිදී වහාම ක්‍රියාත්මක වූ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය ඇයව තවදුරටත් සිදු වීමට ගිය මූල්‍ය විනාශයෙන් මුදවා ගැනීමට කටයුතු කර තිබේ. මෙම වින්දිත කාන්තාව තමන් සිදුකළ සියලුම මූල්‍ය ගනුදෙනුවල ලේඛන නිසි පරිදි පවත්වාගෙන ගොස් තිබීම හේතුවෙන්, පවතින සියලුම සාක්ෂි ද සමඟින් මෙම සිදුවීම වැඩිදුර විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) වෙත යොමු කිරීමට එම සංසදය පියවර ගෙන ඇති අතර මේ වන විට එය විශාල මූල්‍ය අපරාධයක් ලෙස සලකා පුළුල් පරීක්ෂණ ආරම්භ කර ඇත.