ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයෙකු වන ‘කෙහෙල්බද්දර පද්මේ’ නැමැත්තාගේ ප්‍රධාන වෙඩික්කරු ලෙස සැකකෙරෙන ‘මාටියා’ නැමැති අපරාධකරු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මැලේසියාවේ රැඳී සිටියදී එරට ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන මෙරටට පිටුවහල් කිරීමෙන් පසු, ඔහු දිවයිනට පැමිණි අවස්ථාවේදීම මෙලෙස ආරක්ෂක අංශ භාරයට පත්ව ඇත.
බෝඹුවල දේවගේ සුරංග සංජීව කරුණාරත්න හෙවත් ‘කණුවන මාටියා’ හෝ ‘ආමි මාටියා’ නමින් හඳුන්වන මෙම සැකකරු කොටුගොඩ, යාගොඩමුල්ල ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි වියේ පසුවන්නෙකි.මෙම සැකකරු දැනට රැඳවුම් භාරයේ පසුවන සංවිධානාත්මක අපරාධ කල්ලි නායක මන්දිනු පද්මසිරි පෙරේරා හෙවත් ‘කෙහෙල්බද්දර පද්මේ’ යන අයගේ සමීපතම සගයෙකු මෙන්ම ඔහුගේ මෙහෙයවීම් යටතේ ක්‍රියාත්මක වූ ප්‍රධාන වෙඩික්කරු බවට විමර්ශනවලදී අනාවරණය වී ඇත. 2022 වසරේ ජූලි මස ගම්පහ අධිකරණ සංකීර්ණය ඉදිරිපිටදී සිදුවූ දරුණු වෙඩි තැබීමේ සිද්ධියක ප්‍රධාන වගකිවයුත්තා ලෙස ද මොහු හඳුනාගෙන තිබේ.
සමන් රෝහිත පෙරේරා හෙවත් ‘පස් පොඩ්ඩා’ ඇතුළු පුද්ගලයන් තිදෙනෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සහ තවත් පුද්ගලයන් දෙදෙනෙකුට බරපතළ තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් මෙම සැකකරුට සෘජු චෝදනා එල්ල වී ඇත. එම අපරාධය සිදුකිරීමෙන් අනතුරුව මෙරටින් පළාගොස් සිටි සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පහ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් මීට පෙර ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදනයක් ද ලබාගෙන තිබිණි.
කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට පත් සැකකරු ඉදිරි විමර්ශන කටයුතු සඳහා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය වෙත දැඩි ආරක්ෂක රැකවල් මධ්‍යයේ භාර දී ඇත. මෙම සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා පැය 72 ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිත අතර බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසය මගින් සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක කෙරේ.