the-bean-who-carried-out-the-kalutara-love-hunt-was-arrested

පසුගියදා කළුතර, වෙට්ටුමකඩ පල්ලිය පාර ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා අමානුෂික ලෙස ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන වෙඩික්කරු කළුතර අපරාධ කොට්ඨාසය මගින් කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ පයාගල, මැහිමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 44 හැවිරිදි සම්පත් කුමාරතුංග නොහොත් ‘බෝංචියා’ නමැති අන්වර්ථ නාමයෙන් හඳුන්වන පුද්ගලයෙකි.




මෙම සැකකරු මාලිගාවත්ත ප්‍රදේශයේ නිවසක රහසිගතව සැඟව සිටියදී, එම ප්‍රදේශයේ ආරක්ෂිත කැමරා දර්ශන ඔස්සේ සිදුකළ පුළුල් නිරීක්ෂණයකින් අනතුරුව කළුතර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙලෙස නීතියේ රැහැනට කොටුකරගෙන ඇත.

අත්අඩංගුවට පත් ‘බෝංචියා’ නමැත්තා යුද හමුදාවෙන් ඉවත්වූවෙකු වන අතර, ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අයෙකු බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.




මීට පෙරද අවස්ථා කිහිපයකදීම හෙරොයින් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් මොහුට එරෙහිව චෝදනා එල්ල වී ඇති අතර, සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඉදිරි විමර්ශන කටයුතු සඳහා රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතව ඇත.

ඝාතනයට ලක්වූ ‘ආසි’ නමැති පුද්ගලයාද විවිධ චෝදනාවලට ලක්වූවෙකු වන අතර, මෙම ඝාතනය සාමාන්‍ය පෞද්ගලික ආරවුලක් මත සිදුවූවක් බවට මුලින් පෙන්වීමට උත්සාහ කර තිබුණද, ඊට පසුබිම් වී ඇත්තේ ඔත්තු සැපයීමක් සම්බන්ධයෙන් ඇතිවූ ගැටුමක් බව විමර්ශනවලින් තහවුරු වී තිබේ.



මෙම ඝාතනයේ ප්‍රධාන සැලසුම්කරු ලෙස සැලකෙන ‘ඉම්රාන්’ නමැත්තා මීට පෙර පාතාල ක්‍රියාකාරකමක් සඳහා පැමිණි වෙඩික්කරුවෙකුට සහ යතුරුපැදිකරුවෙකුට සිය නිවසේ රැකවරණය ලබා දී ඇති අතර, ඒ පිළිබඳව ඔත්තුව ලබාදෙන්නට ඇත්තේ මියගිය ආසි විසින් යැයි ඇතිවූ සැකය මෙම ඝාතනයට ප්‍රධාන හේතුව වී ඇත.

ඊට අමතරව ඉම්රාන්ගේ පළමු බිරිඳ සහ මියගිය පුද්ගලයා අතර පැවති බව කියන අනියම් සබඳතාවයක්ද මෙම වෛරය තීව්‍ර කිරීමට හේතු වී ඇති බව සඳහන් වේ.

සැලසුම්කරු වන ඉම්රාන් මේ වනවිටත් පානදුර වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීම්වලට ලක්කරමින් සිටියි.

මෙම අපරාධය සඳහා ගිනි අවි සහ සැකකරුවන්ට නවාතැන් පහසුකම් සපයා ඇත්තේ ‘කළුතර නවීන්’ නැමැත්තෙකු විසින් බවට තොරතුරු හෙළිවී ඇති අතර, වෙඩි තැබීම සඳහා ඉම්රාන් සහ බෝංචියා එක්ව මෝටර් රථයකින් පැමිණ තිබේ.

මීට පෙර අවස්ථාවකදීද වෙඩි තැබීමක් සඳහා මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක් ලබාදුන් විට එය ප්‍රතික්ෂේප කර ටී 56 වර්ගයේ ගිනි අවියක් ඉල්ලා සිටි බව කියන බෝංචියා, මෙම ඝාතනය සඳහාද ටී 56 ගිනි අවියක්ම භාවිත කර ඇත.

ඝාතනය සිදුකිරීමෙන් පසු සැකකරුවන් ප්‍රදේශයෙන් දුරස් නොවි ආසන්නයේම රැඳී සිට පසුව කොළඹට පලාගොස් ඇති අතර, ප්‍රධාන වෙඩික්කරු මත්ද්‍රව්‍ය ලබාගැනීමේ අරමුණින්ම පමණක් මෙම කොන්ත්‍රාත්තුව භාරගන්නට ඇති බවට පොලිසිය සැක පළ කරයි.

අත්අඩංගුවට ගත් ප්‍රධාන වෙඩික්කරුගෙන් සිදුකරන ප්‍රශ්න කිරීම් හරහා මෙම ඝාතනය පිටුපස සිටින සෙසු පුද්ගලයින් සහ අපරාධය සඳහා පැමිණි වාහනයේ සිටි අනෙකුත් පිරිස සම්බන්ධයෙන් සියලු තොරතුරු ඉදිරියේදී අනාවරණය කරගැනීමට පොලිසිය අපේක්ෂා කරනු ලබයි.