තලවතුගොඩ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන වැටලීමේදී අත්අඩංගුවට ගත් කාන්තාවන්ගේ අනන්‍යතාවය නීතිවිරෝධී ලෙස ප්‍රසිද්ධ කිරීම තුළින් ඔවුන්ගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් ලංකා ස්පා සංගමය (Lanka Spa Association) සහ නීතිඥවරුන් කණ්ඩායමක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. මෙම පැමිණිල්ල මහජන අයිතිවාසිකම් සුරැකීමේ සංගමය විසින් ගොනු කර ඇති අතර, අදාළ වැටලීම් සිදුකළ පොලිස් නිලධාරීන්ගේ හැසිරීම සම්බන්ධයෙන් විනය පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලමින් වැඩබලන පොලිස්පතිවරයා වෙත ද පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඔවුන් පියවර ගෙන ඇත.
මේ පිළිබඳව අදහස් දක්වමින් නීතිඥ සුසන්ත ගුණවර්ධන මහතා ප්‍රකාශ කර සිටියේ අදාළ කාන්තාවන් සැකකාරියන් පමණක් වන පසුබිමක, විවිධ ඡායාරූප සහ වීඩියෝ දර්ශන මාධ්‍ය වෙත මුදාහරිමින් ඔවුන්ගේ අනන්‍යතාවය ප්‍රසිද්ධියට පත් කර ඇති බවයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අධිකරණයකින් වරදකරු කරනු ලබන තෙක් ඕනෑම පුද්ගලයෙකු නිවැරදිකරුවෙකු ලෙස සලකන බැවින්, මෙලෙස මුහුණු සහ අනන්‍යතාවයන් ප්‍රසිද්ධ කිරීම ඔවුන් දැඩි ලෙස අවමානයට හා අපහසුතාවයට පත් කිරීමක් බව හෙතෙම පෙන්වා දුන්නේය. මෙම අයිතිවාසිකම් උල්ලංඝනය වීම සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් පවත්වන ලෙස මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා සිටි ඒ මහතා, පොලිස් නිලධාරීන් චේතනාන්විතව මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන අයුරින් කටයුතු කර ඇත්දැයි සොයා බලන ලෙස වැඩබලන පොලිස්පතිවරයාගෙන්ද ඉල්ලා සිටියේය.
මේ අතර ලංකා ස්පා සංගමයේ අධ්‍යක්ෂවරිය ද මෙම වැටලීම් සිදුකළ ආකාරය විවේචනයට ලක් කරමින් කියා සිටියේ එම ක්ෂේත්‍රයේ සේවය කරන කාන්තාවන් අසාධාරණ ලෙස අපකීර්තියට පත් කර ඇති බවයි. බරපතළ වැරදි සිදුකළ අපරාධකරුවන් මෙන් මෙම කාන්තාවන්ට සැලකීම හේතුවෙන් ඔවුන් අන්ත අසරණ භාවයට පත්ව ඇති බවත්, ඔවුන්ගෙන් බහුතරයක් වෘත්තීය පුහුණුව ලැබූවන් වුවද මෙවැනි මෙහෙයුම්වලදී දිගින් දිගටම අත්අඩංගුවට පත්වීමට සිදුව ඇති බවත් ඇය වැඩිදුරටත් සඳහන් කළාය.
වලාන මධ්‍යම දූෂණ මර්ධන ප්‍රහාරක බලකාය විසින් තලවතුගොඩ ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන මුවාවෙන් පවත්වාගෙන ගිය බව කියන ගණිකා නිවාස නවයක් වටලෑමෙන් පසුව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ. මාධ්‍ය වාර්තාවලට අනුව එම විශේෂ මෙහෙයුමේදී කාන්තාවන් 34 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 43 දෙනෙකු පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.