ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව විසින් 2021 වර්ෂය පදනම් වර්ෂය ලෙස ගනිමින් 2026 මැයි මාසය සඳහා වන ජාතික පාරිභෝගික මිල දර්ශකය සහ මාසික පාරිභෝගික උද්ධමන අනුපාතයන් ප්‍රකාශයට පත් කර ඇත. ඒ අනුව, 2026 අප්‍රේල් මාසයේදී සියයට 4.7 ක් ලෙස වාර්තා වූ ශ්‍රී ලංකාවේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමන අනුපාතය, 2026 මැයි මාසය වන විට සියයට 5.4 ක් දක්වා කැපී පෙනෙන වර්ධනයක් පෙන්වා තිබේ.
මෙම සමස්ත උද්ධමන අනුපාතය සඳහා ආහාර කාණ්ඩයෙන් සියයට 0.7 ක දායකත්වයක් සහ ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 4.7 ක දායකත්වයක් ලැබී ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.මිල දර්ශකයට අනුව, ආහාර කාණ්ඩය සඳහා වන ලක්ෂ්‍යමය උද්ධමන අනුපාතය අප්‍රේල් මාසයේ පැවති සියයට 1.1 සීමාවේ සිට මැයි මාසයේදී සියයට 1.5 දක්වා ඉහළ ගොස් ඇත. එසේම, ආහාර නොවන කාණ්ඩයේ ලක්ෂ්‍යමය උද්ධමන අනුපාතයද අප්‍රේල් මාසයේ පැවති සියයට 7.8 ක මට්ටමේ සිට මැයි මාසය වන විට සියයට 8.6 දක්වා වැඩි වී තිබේ. ජාතික පාරිභෝගික මිල දර්ශකය සකස් කිරීමේදී ආහාර කාණ්ඩය සඳහා සියයට 39.22 ක බර තැබීමක් ද, ආහාර නොවන කාණ්ඩය සඳහා සියයට 60.78 ක බර තැබීමක් ද ලබා දී ඇත.
2026 අප්‍රේල් මාසයේදී 216.3 ක් ලෙස සටහන් වූ ජාතික පාරිභෝගික මිල දර්ශකය මැයි මාසය වන විට 218.8 දක්වා වැඩි වී ඇති අතර, මෙම මාසික වෙනස්වීම සඳහා ආහාර කාණ්ඩයෙන් සියයට 0.70 ක සහ ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 0.44 ක දායකත්වයක් ලැබී තිබේ. මෙයට අමතරව, 2021 දර්ශක යොමු කාලයට සාපේක්ෂව සලකා බලන කල රටේ පොදු මිල මට්ටමෙහි කැපී පෙනෙන වැඩිවීම සියයට 118.8 ක් ලෙස වාර්තා වේ. නිතර මිල වෙනස් වන ආහාර, බලශක්ති සහ ප්‍රවාහන වියදම් ඉවත් කර ගණනය කරනු ලබන ජාතික පාරිභෝගික මිල දර්ශකයේ යටි දැරි උද්ධමනය ද අප්‍රේල් මාසයේ පැවති 202.2 සිට මැයි මාසයේදී 203.0 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව මැයි මාසයේ ලක්ෂ්‍යමය යටි දැරි උද්ධමන අනුපාතය සියයට 4.5 ක් වන අතර එහි මාසික වෙනස සියයට 0.4 කි.
විවිධ උප කාණ්ඩ යටතේ පවතින උද්ධමන තත්ත්වයන් විශ්ලේෂණය කිරීමේදී, ප්‍රවාහන අංශයේ උද්ධමනය අප්‍රේල් මාසයේ පැවති සියයට 14.3 සිට මැයි මාසයේදී සියයට 16.9 දක්වා කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇත. ආපනශාලා සහ හෝටල් අංශයේ උද්ධමනය සියයට 6.7 සිට සියයට 9.0 දක්වා ද , නිවාස, ජලය, විදුලිය, ගෑස් සහ අනෙකුත් ඉන්ධන අංශයේ උද්ධමනය සියයට 7.8 සිට සියයට 8.2 දක්වා ද වැඩි වී තිබේ. තවද, රෙදිපිළි හා පාවහන් අංශය සියයට 3.5 සිට සියයට 3.8 දක්වා ද , මධ්‍යසාර පාන වර්ග හා දුම්කොළ අංශය සියයට 2.5 සිට සියයට 2.9 දක්වා ද ඉහළ යාමක් පෙන්නුම් කරයි. කෙසේ වෙතත්, විනෝදාත්මක හා සංස්කෘතික අංශයේ උද්ධමනය අප්‍රේල් මාසයේ පැවති සියයට 2.3 ක මට්ටමේ සිට මැයි මාසයේදී සියයට 1.8 දක්වා පහත වැටීමක් පෙන්නුම් කර ඇත.
මුදල්, සැලසුම් සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ මිල හා චේතන අංශය විසින් මෙම දත්ත නිකුත් කරනු ලබයි. මීළඟ 2026 ජුනි මාසය සඳහා වන ජාතික පාරිභෝගික මිල දර්ශකය 2026 ජූලි මස 21 වන දින පස්වරු 3.00 ට නිකුත් කිරීමට නියමිතව ඇත.
