රුපියල් මිලියන 377 ක් හෙවත් රුපියල් තිස් හත් කෝටි හැත්තෑ ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය තොගයක් මෙරටට රැගෙන ආ විදේශීය සරසවි සිසුවෙකු කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී රේගු නිලධාරීන්ගේ අත්අඩංගුවට පත්ව තිබේ. මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඩොමිනිකානු ජනරජයේ පදිංචි 23 හැවිරිදි වියේ පසුවන තරුණයෙකි.
කටුනායක ගුවන් තොටුපොළ ඉතිහාසයේ මෙතරම් විශාල වටිනාකමකින් යුත් හෂීෂ් මත්ද්‍රව්‍ය ප්‍රමාණයක් රේගු බාරයට ගත් පළමු අවස්ථාව මෙය ලෙස වාර්තා වේ.මෙම සැකකාර සිසුවා මත්ද්‍රව්‍ය ජාවාරම සඳහා ගුවන් තොටුපොළේ විශේෂ මගීන් මුදල් ගෙවා පහසුකම් ලබාගන්නා "ගෝල්ඩ් රූට්" (Gold Route) පර්යන්තය භාවිත කර ඇති බව අනාවරණය වී ඇත. ඇමෙරිකානු ඩොලර් 206 ක මුදලක් ගෙවමින් මෙම විශේෂ ප්‍රභූ පර්යන්තය ඔස්සේ මත්ද්‍රව්‍ය මෙරටට ගෙන ඒමට උත්සාහ කළ පළමු අවස්ථාව ද මෙය බව ගුවන් තොටුපොළ රේගු නිලධාරීහු පවසති. රේගු පරීක්ෂණ මගහැර මෙම හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය ගුවන් තොටුපොළෙන් පිටතට රැගෙන යාම සැකකරුගේ මූලික සැලසුම වී තිබේ.
කෙසේ වෙතත්, එම විශේෂ පර්යන්තයෙන් පැමිණෙන මගීන්ගේ ගමන් මලු ද ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් පරිලෝකන යන්ත්‍ර (Scan Test) මගින් පරික්ෂාවට ලක් කරනු ලැබූ අතර, එහිදී මෙම මත්ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වී ඇත. සැකකරු සන්තකයේ තිබූ ගමන් මලු දෙකක් තුළ සූක්ෂ්ම ලෙස සඟවා තිබූ පැකැට් 146 ක අසුරන ලද කිලෝග්‍රෑම් 37 යි ග්‍රෑම් 639 ක් බරැති හෂීෂ් මත්ද්‍රව්‍ය මෙලෙස සොයා ගැනිණි.
කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදුකළ මූලික විමර්ශනවලදී හෙළි වී ඇත්තේ ඔහු මෙම මත්ද්‍රව්‍ය තොගය කැනඩාවෙන් ලබාගෙන ඇති බවයි. අත්අඩංගුවට ගත් ඩොමිනිකානු ජාතික සරසවි සිසුවා සහ ඔහු සන්තකයේ තිබී සොයාගත් හෂීෂ් මත්ද්‍රව්‍ය තොගය ඉදිරි වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාර දී තිබේ.