sathosa-drops-the-prices-of-eighteen-essential-commodities

පාරිභෝගික ජනතාවට සහන සැලසීමේ අරමුණින් රජයේ ප්‍රධාන සිල්ලර අලෙවි ජාලය වන ලංකා සතොස ආයතනය හරහා අලෙවි කරන අත්‍යවශ්‍ය භාණ්ඩ දහඅටක මිල ගණන් වහාම ක්‍රියාත්මක වන පරිදි පහත හෙළීමට රජය පියවර ගෙන තිබේ.




වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රකාශ කළේ, ආනයනික භාණ්ඩ මිල ඉහළ ගොස් ඇති වත්මන් වාතාවරණය තුළ ජනතාවට සහන ලබාදීම වෙනුවෙන් පවතින රාජ්‍ය යාන්ත්‍රණය එහි උපරිම ධාරිතාවෙන් යුතුව ක්‍රියාත්මක කරන බවයි. ඒ අනුව, පිටකොටුවේ පවතින තොග මිලටත් වඩා අඩු මුදලකට මෙම අත්‍යවශ්‍ය භාණ්ඩ පාරිභෝගිකයින් අතට පත් කිරීමට අදාළ සියලු තීරණ මේ වනවිටත් ගෙන ඇති බවද අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.

මෙම නව මිල සංශෝධනයට අනුව, රුපියල් 249ක්ව පැවති ලොකු ලූනු කිලෝවක නව මිල රුපියල් 219ක් දක්වා රුපියල් 30කින්ද, සුදු සීනි කිලෝවක මිල රුපියල් 10කින් අඩුවී රුපියල් 219ක් දක්වාද පහත බැස ඇත. එසේම රුපියල් 279ක් වූ රතු පරිප්පු කිලෝවක් රුපියල් 249කටත්, රුපියල් 799ක් වූ සුදු කවුපි සහ රුපියල් 819ක් වූ රතු කවුපි කිලෝවක් පිළිවෙලින් රුපියල් 729ක් හා රුපියල් 749ක් දක්වා රුපියල් 70ක සුවිශේෂී වාසියක් සහිතව අඩු කර තිබේ. කහ පරිප්පු කිලෝවක් රුපියල් 20කින් අඩුකර රුපියල් 199කට අලෙවි කරන අතර, කඩල කිලෝවක නව මිල රුපියල් 344කි. මීට අමතරව රුපියල් 875ක්ව තිබූ මුංඇට කිලෝවක් රුපියල් 849කටත්, රුපියල් 975ක් වූ සුදු උඳු කිලෝවක් රුපියල් 110ක වාසියක් ලබාදෙමින් රුපියල් 865කටත්, රුපියල් 1049ක් වූ රටකජු කිලෝවක් රුපියල් 169කින් අඩු කර රුපියල් 880කටත් පාරිභෝගිකයින්ට මිලදී ගත හැක. කොත්තමල්ලි කිලෝවක මිල රුපියල් 60කින් අඩුකර ඇති අතර එහි නව මිල සටහන් වන්නේ රුපියල් 439ක් ලෙසිනි.




තවද, තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 6කින් අඩු කර රුපියල් 163ක් දක්වා පහත දමා ඇති අතර, සහල් මිල ගණන්ද පාරිභෝගිකයාට වාසිදායක ලෙස සංශෝධනය කර ඇත. ඒ අනුව රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 179කටත්, රතු කැකුළු සම්බා කිලෝවක් රුපියල් 229කටත්, සම්බා කිලෝවක් රුපියල් 239කටත් අලෙවි කෙරේ. එසේම සුදු නාඩු කිලෝවක් රුපියල් 209කටත්, රතු නාඩු කිලෝවක් රුපියල් 21කින් අඩු කර රුපියල් 209කටත් ලබා ගත හැකි වන පරිදි මිල තීරණය වී ඇති අතර, පොන්නි සම්බා කිලෝවක නව මිල නියම වී ඇත්තේ රුපියල් 235ක් ලෙසිනි.