එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රැකියාවක නිරත නේපාල ජාතික ආරක්ෂක නිලධාරියෙකු එරට පවත්වනු ලබන ලොතරැයි දිනුම් ඇදීමකින් ඩිරාම් මිලියන 30 ක අතිවිශාල ජයග්‍රහණයක් හිමිකර ගැනීමට සමත් වී තිබේ. 26 හැවිරිදි වියේ පසුවන ටයබ් ඛාන් නම් මෙම තරුණයා මීට වසර හතරකට පෙර වඩාත් හොඳ අනාගතයක් අපේක්ෂාවෙන් නේපාලයේ සිට පැමිණි අයෙකු වන අතර ඔහු දැනට අබුඩාබි හි පදිංචිව සිටියි.
යාවත්කාලීන කරන ලද නව ජැක්පොට් ආකෘතිය යටතේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ලොතරැයි මණ්ඩලය විසින් පවත්වන ලද 'ලකී ඩේ' දිනුම් ඇදීමේ පළමු දැවැන්තම ත්‍යාගය හිමිකරගත් වාසනාවන්තයා බවට ඔහු පත්ව ඇත.මෙම සුවිශේෂී ජයග්‍රහණය පිළිබඳව ඔහු දැනුවත් වී ඇත්තේ විද්‍යුත් තැපෑල හරහා වීම ද විශේෂත්වයකි. දිනුම් ඇදීම සිදුවන අවස්ථාවේදී ඔහු එය නරඹමින් නොසිටි අතර, සාමාන්‍යයෙන් සුළු ත්‍යාග දිනාගත් විට ලැබෙන ආකාරයේ විද්‍යුත් තැපැල් පණිවිඩයක් යැයි සිතා ඔහු මුලදී ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කර නැත. එහෙත් අදාළ පණිවිඩය විවෘත කර බැලීමෙන් පසු තමන් ඩිරාම් මිලියන 30 ක් දිනා ඇති බව දුටු විට තම අත් පා වෙව්ලන්නට වූ බවත්, එය සම්පූර්ණයෙන්ම සිහිනයක් මෙන් දැනුණු බවත් ටයබ් ප්‍රකාශ කර සිටියේය.
මෙම ජයග්‍රාහී ලොතරැයි පත ටයබ් ඇතුළු ඔහුගේ සමීපතම මිතුරන් පස්දෙනෙකුගේ සාමූහික එකමුතුවෙන් මිලදී ගත්තකි. 2024 වසරේ මුල් භාගයේදී ෆේස්බුක් ඔස්සේ මේ පිළිබඳව දැනගැනීමෙන් අනතුරුව මෙම මිතුරන් පිරිස එකට මුදල් එකතු කර නිතිපතා ලොතරැයි මිලදී ගැනීමට පුරුදුව සිට ඇත. සෑම සතියකම එක් අයෙකු බැගින් අංක තෝරාගැනීම සිදු කර ඇති අතර, මීට පෙරද අංක තුනක් හෝ හතරක් ගැලපීමෙන් ඔවුන් සුළු ත්‍යාග කිහිපයක්ම ජයග්‍රහණය කර තිබේ. ඒ අනුව, මෙවර දිනාගත් දැවැන්ත මුදල මිතුරන් පස්දෙනා අතර සමානව බෙදී යන අතර, එක් අයෙකුට ඩිරාම් මිලියන 6 බැගින් හිමිවනු ඇත.
තම ජයග්‍රහණය පිළිබඳව ටයබ් පළමුවෙන්ම දැනුම් දී ඇත්තේ තමන්ට පියෙකු මෙන් සලකන, තමන්ව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගෙන්වා ගැනීමට උපකාර කළ නේපාලයේ සිටින ඔහුගේ මාමාටය. එම පුවත ඇසූ විගස මාමාට කතා කරගැනීමට පවා නොහැකි වූ බවත් ඔහුගේ දෙනෙතින් කඳුළු ගලා ආ බවත් ටයබ් පවසයි. මෙම මුදලින් නේපාලයේ තම පවුල වෙනුවෙන් සියලු පහසුකම් සහිත නිවසක් හොඳ ප්‍රදේශයකින් ඉදිකිරීම ඔහුගේ ප්‍රධානතම අරමුණයි. මීට අමතරව වසර හතරක් සේවකයෙකු ලෙස වැඩ කළ තමන්ට දැන් ව්‍යවසායකත්වය මෙන්ම ව්‍යාපාරික හා ආයෝජන අවස්ථා වෙත යොමුවීමට අවශ්‍ය බවද ඔහු පෙන්වා දෙයි. එසේම, දිගු කලක් තිස්සේ සිහින මැවූ මහින්ද්‍රා තාර් වර්ගයේ ජීප් රථයක් සහ රොලෙක්ස් අත් ඔරලෝසුවක් මිලදී ගැනීමේ ආශාවක් පවතින බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම ජයග්‍රහණය තම මිතුරන් පස්දෙනාගේම ජීවිතවල විවිධ අවශ්‍යතා සපුරාලීමට මහත් පිටිවහලක් වනු ඇතැයි ටයබ් විශ්වාස කරයි. ඔහුගේ එක් මිතුරෙකු වසර ගණනාවක සිට තම පවුලෙන් දුරස්ව සිටින අයෙකු වන අතර, තවත් අයෙකු මෑතකදී විවාහ වූ අයෙකි. එමෙන්ම අනෙක් මිතුරා මෑතකදී පියෙකු බවට පත්ව තිබේ. මේ නිසා තම කණ්ඩායමේ සියලු දෙනාටම මෙම ජයග්‍රහණය මේ මොහොතේ අතිශයින්ම වැදගත් වී ඇති බව ඔහු සතුටින් ප්‍රකාශ කර සිටී.
