හොරණ ප්‍රදේශයේ පිහිටි මහජන බැංකුවෙන් රුපියල් කෝටි තුනහමාරකට අධික මුදලක් අතුරුදන් වීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් එම බැංකුවේ සහකාර කළමනාකරුවරයා ලබන 23 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයට පත් කිරීමට හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් ලක්මිණි විදානගමගේ මහත්මිය නියෝග කළාය. මෙලෙස රිමාන්ඩ් බන්ධනාගාරගත කෙරුණේ රැඳවුම් නියෝග මත පොලිසිය විසින් ප්‍රශ්න කරනු ලැබූ 54 හැවිරිදි නන්දන සරත් කුමාර නමැත්තෙකි.
මෙම සිද්ධියට අදාළව ඊයේ (9) හොරණ අධිකරණයේදී කරුණු දැක්වූ පොලිසිය ප්‍රකාශ කළේ, අදාළ දිනයේ පෙරවරු 8.00 ට පමණ බැංකුවේ සේප්පුවෙන් මුදල් පිටතට ගෙන ඇති බව පැවසුවද, පස්වරු 1.30 වන තුරුත් එම මුදල් ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර (ATM) වෙත තැන්පත් කිරීම සඳහා ගෙනගොස් නොතිබූ බව විමර්ශන හරහා තහවුරු වී ඇති බවයි. බස්නාහිර පළාත් උතුරු බුද්ධි අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේ බැංකුවේ රාජකාරි ක්‍රියාපටිපාටිය පිළිබඳ වාර්තාවක් මේ වන විට කැඳවා ඇති බවත්, සැකකරුට එරෙහිව පොදු දේපළ පනත යටතේ නඩු පැවරීමට පියවර ගන්නා බවත්ය.
බැංකුවේ මූල්‍ය කටයුතුවල සිදුව ඇති අක්‍රමිකතාවක් සම්බන්ධයෙන් පුද්ගලයකු විසින් සිදු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම පරීක්ෂණ ආරම්භ කර තිබේ. ස්වයංක්‍රීය බැංකු යන්ත්‍ර වෙත මුදල් රැගෙන යාමේ ක්‍රියාවලිය පිළිබඳව බැංකුවේ ඉහළ නිලධාරීන්ව දැනුවත් නොකිරීමේ චෝදනාව මත මෙම නඩුවේ දෙවැනි සැකකරු ලෙස අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින ආරක්ෂක නිලධාරියා එළඹෙන ජුනි 11 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය මෙහිදී සඳහන් කළේය. මීට අමතරව සැකකාර සහකාර කළමනාකරුට එරෙහිව 54 වැනි වගන්තිය යටතේ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ගොනු කර තිබූ නඩුවක් අධිකරණයෙන් ඉවත් කර ගැනීමටද පොලිසිය කටයුතු කර ඇත.
ස්වයංක්‍රීය මුදල් යන්ත්‍ර වෙත රැගෙන ගිය බව කියන මුදල් නෝට්ටුවල අංක සටහන් කර ඇත්නම්, එම අංක සහ බැංකුවේ ගබඩා කාමරයෙන් සොයාගන්නා ලද මුදල්වල අංක එකිනෙක ගැලපෙන්නේද යන්න පරීක්ෂා කර බලා ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය පොලිසියට නියෝග කළාය. ඊට අමතරව මෙම මුදල් අතුරුදන් වීමේ සිද්ධියට අදාළ ආරක්ෂිත කැමරා දර්ශන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසටද ඇය වැඩිදුරටත් නියෝග කර තිබේ.
සැකකාර සහකාර කළමනාකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ තුෂාර ගුණරත්න සහ රන්ජන් හපුතන්ත්‍රී යන මහත්වරුන් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, සැකකරුට එරෙහිව පවතින සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට පොලිසියට නියෝගයක් නිකුත් කරන ලෙසයි. එමෙන්ම ඔහුට එරෙහිව නඩු පැවරීමට අපේක්ෂා කරන නීතිමය ප්‍රතිපාදන මොනවාද යන්න පැහැදිලි කරන ලෙසද ඔවුහු ඉල්ලා සිටියහ. අදාළ බැංකුව වෙනුවෙන් නීතිඥ හේමන්ත වික්‍රමආරච්චි මහතා පෙනී සිටි අතර, ඉදිරියේදී සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අධිකරණයට ලබා දෙන බවට පොලිසිය එහිදී දැනුම් දුන්නේය. සැකකාර සහකාර කළමනාකරු සම්බන්ධ නඩුව ලබන 23 වැනිදා යළි කැඳවීමට නියමිතය.
