salehs-wife-will-do-what-the-villagers-ask

පාස්කු ඉරුදින එල්ල කරන ලද ම්ලේච්ඡ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වර්තමානයේ ක්‍රියාත්මක වන පුළුල් විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන සිටින රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී, විශ්‍රාමික මේජර් ජෙනරාල් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් මේ දිනවල සමාජය තුළ දැඩි කතාබහක් නිර්මාණය වී තිබේ. විශේෂයෙන්ම ඔහුව මුදාගැනීමේ අරමුණින් ඔහුගේ මව, බිරිඳ, පුත්‍රයා මෙන්ම සොහොයුරා ද විවිධ මාධ්‍ය ප්‍රචාරක කටයුතු සඳහා යොදාගනිමින් ඔවුන් දැඩි අසරණභාවයකට පත්ව ඇති බවක් සමාජයට පෙන්නුම් කිරීමට යම් සංවිධානාත්මක උත්සාහයක් ක්‍රියාත්මක වන බවක් නිරීක්ෂණය වේ.

මෙහිදී වඩාත් අවධානයට ලක්වූ කරුණක් වූයේ සුරේෂ් සලේ මහතාගේ පුත්‍රයා මාධ්‍ය ඉදිරියට පැමිණ ඉංග්‍රීසි භාෂාවෙන් සිදුකරන ලද ප්‍රකාශයයි. තම පියා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අසාධාරණ ලෙස රඳවාගෙන සිටින බවත්, එම පනත වහාම හකුලා ගන්නා ලෙසත් ඔහු එහිදී මාධ්‍ය හරහා ඉල්ලා සිටියේය. කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයත් සමගම දේශපාලන කරළියේ සිදුවන අනෙකුත් ක්‍රියාකාරකම් අතර පැහැදිලි පරස්පරතාවයක් ද දැකගත හැකිය.




මේ දිනවල කොළඹ කොටුව දුම්රිය ස්ථානය ඉදිරිපිට සුරේෂ් සලේ මහතාට සහය පළකරමින් නාමල් රාජපක්ෂ, විමල් වීරවංශ, උදය ගම්මන්පිල සහ දිලිත් ජයවීර යන මහත්වරුන් ඇතුළු දේශපාලන කණ්ඩායමක් විසින් මාධ්‍ය සන්දර්ශනයක ස්වරූපයෙන් සත්‍යග්‍රහයක් සහ විරෝධතාවයක් දියත් කර ඇත. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන සිටින සලේ මහතාට අමානුෂික අයුරින් සලකන බවට චෝදනා කරමින් ආරම්භ කළ මෙම සත්‍යග්‍රහයේ නිරත පිරිස් රාත්‍රී කාලයේදීත් දුම්රිය ස්ථානය ආසන්නයේ රැය පහන් කරමින් සිටින අතර එය මේ වන විට දින කිහිපයක් පුරා අඛණ්ඩව ක්‍රියාත්මක වේ. එහෙත් පුදුමයට කරුණ නම්, සලේ මහතාගේ පුත්‍රයා විසින් අවධාරණය කළ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීම සම්බන්ධයෙන් කිසිදු සටන් පාඨයක් මෙම දේශපාලන කණ්ඩායම විසින් තම විරෝධතාවයේදී ඉදිරිපත් කර නොතිබීමයි. තවද, සුරේෂ් සලේ මහතා විසින්ම රජයෙන් හෝ බලධාරීන්ගෙන් කර ඇති ඉල්ලීම්වල ද මෙම පනත පිළිබඳ කිසිදු සඳහනක් දක්නට නොලැබේ. ඒ වෙනුවට ඔහුගේ ප්‍රධාන ඉල්ලීම් වී ඇත්තේ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉවත් කිරීම, තමන්ට එරෙහිව සිදුකරන විමර්ශන වෙනත් ස්වාධීන ආයතනයකට පැවරීම සහ දැනට තමන්ව රඳවා සිටින ස්ථානය වෙනස් කිරීම යනාදියයි.

මෙම සමස්ත තත්ත්වය සම්බන්ධයෙන් රජයේ ස්ථාවරය පැහැදිලි කරමින් කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකදී විශේෂ කරුණු දැක්වීමක් සිදු කළේය. සුරේෂ් සලේ මහතා රැඳවුම් භාරයේ පසුවන කාලය තුළ ඔහුට වධහිංසා පමුණුවා ඇති බවට නැගෙන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කළ අමාත්‍යවරයා, පසුගිය කාලයේ රැඳවුම් නියෝග මත රඳවාගෙන සිටි වෙනත් ඕනෑම සැකකරුවෙකු සම්බන්ධයෙන් කටයුතු කළ සාමාන්‍ය නීතිමය ක්‍රියාපාටියම ඔහුටද අනුගමනය කරන බවත්, එහිදී කිසිදු විශේෂත්වයක් හෝ වෙනස් කොට සැලකීමක් සිදු කර නොමැති බවත් අවධාරණය කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිටින සැකකරුවෙකුට විශේෂයෙන් වධහිංසා පැමිණවීමක් සිදු නොකරන බව කී අමාත්‍යවරයා, කොතරම් විරෝධතා දැක්වුවද, අට්ටාල දහසක් ගැසුවද පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් රජය ආරම්භ කර ඇති නීත්‍යානුකූල පරීක්ෂණ කිසිසේත්ම නතර නොකරන බවද ප්‍රකාශ කළේය. සුරේෂ් සලේ මහතාට එරෙහිව පළමු දින අනූවක කාලය තුළ කිසිදු ඝෝෂාවක් නොතිබුණු බවත්, මෙම විශේෂ කෑගැසීම සහ සත්‍යග්‍රහ ආරම්භ වූයේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු තිදෙනෙකුට අධිකරණය මගින් විදෙස් ගමන් තහනමක් පැනවීමෙන් අනතුරුව බවත් වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේය. තමන් නිවැරදි නම් කළ යුත්තේ පරීක්ෂණවලට බාධා කිරීම නොව ඒවාට සහය ලබාදීම බවත්, මෙවැනි ම්ලේච්ඡ ඝාතනයන් අනාගතයේදී වළක්වා ගත හැක්කේ එවිට පමණක් බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.




මේ අතර, සිය ස්වාමිපුරුෂයාට සාධාරණයක් ඉටු කර ගැනීම සඳහා මැදිහත් වන ලෙස ඉල්ලා සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය සහ ඇගේ පුත්‍රයා විසින් මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරීය මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා දෙනම බැහැදැක විශේෂ සාකච්ඡාවක නිරත වී තිබේ. පැයකට අධික කාලයක් පුරාවට මහනාහිමිවරුන් සමග අදහස් හුවමාරු කරගෙන ඇති ඔවුන්, මෙම අර්බුදය විසඳීම සඳහා මැදිහත් පාර්ශ්වයක් ලෙස කටයුතු කරන ලෙස උන්වහන්සේලාගෙන් කාරුණිකව ඉල්ලා ඇත. ඊට අමතරව, මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත ද ලිපියක් යොමු කරමින් තම ස්වාමිපුරුෂයාට එරෙහිව දැනට ක්‍රියාත්මක වන රැඳවුම් නියෝගය වහාම අවලංගු කරන ලෙස ඉල්ලීමක් කර තිබේ. පසුගිය මැයි මස 20 වැනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මෙම නඩු කටයුතු කැඳවූ අවස්ථාවේදී අධිකරණ නියෝග පරිදි සකස් කරන ලද අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාගේ නිල වාර්තාවක් ලැබී ඇති බවත්, තම ස්වාමිපුරුෂයා රැඳවුම් භාරයේදී දැඩි ශාරීරික හා මානසික පීඩාවන්ට ලක්වූ බවට තමන් කළ ප්‍රකාශ එම වාර්තාවේ නිගමන මගින් සනාථ වී ඇති බවත් ඇය එම ලිපියෙන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත. එබැවින් මෙම මානුෂීය සහ නීතිමය තත්ත්වයන් සැලකිල්ලට ගෙන රැඳවුම් නියෝගය ඉවත් කිරීමට මැදිහත් වන ලෙස ඇය ඉල්ලා සිටියි. මෙම තත්ත්වය මධ්‍යයේ, සුරේෂ් සලේ මහතා විශේෂඥ වෛද්‍ය මණ්ඩලයක් වෙත යොමුකර වාර්තාවක් කැඳවීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට නියෝගයක් නිකුත් කරන මෙන් නීතිපතිවරයා කළ ඉල්ලීමට අදාළ නියෝගය කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ප්‍රකාශයට පත් කිරීමට නියමිතව පවතී.

මෙම පරීක්ෂණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අදහස් දැක්වූ අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතීඥ හර්ෂණ නානායක්කාර මහතා ද අතිශය තීරණාත්මක කරුණු කිහිපයක් අනාවරණය කළේය. සලේ මහතාගේ විමර්ශනවලින් ඔබ්බට එනම් ඔහුගෙන් ඉහළට පරීක්ෂණ ගමන් කළහොත් පාස්කු ප්‍රහාරයේ සැබෑ මහමොළකරු හමුවන බවත්, ඇතැම් දේශපාලන කණ්ඩායම් රත් වී කෑගසන්නේ සලේ මහතාට ඇති ආදරයක් නිසා නොව විමර්ශන ඔහුගෙන් එහාට යාම නවත්වා ගැනීමේ පටු අරමුණින් බවත් අමාත්‍යවරයා පැහැදිලි කළේය. සලේ මහතා මීට පෙර දින අනූවක් රැඳවුම් භාරයේ සිටියදී කිසිවෙකුත් හඬක් නොනැගූ බවත්, මේ සියලු අඳෝනා ආරම්භ වූයේ ගෝඨාභය රාජපක්ෂ මහතාට විදේශ ගමන් තහනමක් පැනවීමෙන් පසුව බවත් ඔහුද තහවුරු කළේය. වත්මන් රජය කිසිසේත්ම භාෂණයේ නිදහස මර්දනය නොකරන බවත්, රූපවාහිනී ආයතන ගිනිතැබීමේ යුගය අවසන් බවත් කී හර්ෂණ නානායක්කාර මහතා, ඉදිරි මාස දෙක ඇතුළත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කර නව නීතියක් ගෙන එන බව ප්‍රකාශ කළේය. එමෙන්ම විනිසුරුවරුන් මාරු කිරීම වැනි කටයුතුවලට විධායකය මැදිහත් නොවන බවත්, එය අධිකරණ සේවා කොමිෂන් සභාව හරහා ස්වාධීනව සිදුවන්නක් බවත් පවසමින් වින්දිතයින්ට යුක්තිය ඉටුකිරීමේ ජාතික ජන බලවේග රජයේ පොරොන්දුව අනිවාර්යයෙන්ම ඉටු කරන බව අවධාරණය කළේය.



මේ අතර, හිටපු යුධ හමුදාපති සරත් ෆොන්සේකා මහතා කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සුරේෂ් සලේ මහතා සම්බන්ධයෙන් තවත් බරපතළ චෝදනාවක් එල්ල කළේය. පාස්කු ප්‍රහාරයේ ප්‍රධාන සැකකරු ලෙස සැලකෙන සහරාන් හෂීම් ඇතුළු දහස් ගණනක් වූ අන්තවාදීන් පිරිසකට වැටුප් ගෙවීම් සිදුකරන ලද්දේ මේජර් ජෙනරාල් සුරේෂ් සලේ විසින් බවත්, ඔහු එම සියලුම කටයුතු සිදුකළේ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෘජු අනුදැනුම හා පූර්ණ අවසරය මත බවත් ෆොන්සේකා මහතා එහිදී ප්‍රකාශ කළේය. සුරේෂ් සලේ යනු සාමාන්‍ය හමුදා නිලධාරියෙකුට වඩා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ වහලෙකු ලෙස කටයුතු කළ අයෙකු බවට චෝදනා කළ හිටපු හමුදාපතිවරයා, රාජපක්ෂ මහතාගේ අනුදැනුමකින් තොරව සලේ කිසිදු ක්‍රියාවක් නොකළ බවත් ඔහු රාජපක්ෂවරුන්ගේ පුරෝහිතයෙකු ලෙස ක්‍රියාත්මක වූ බවත් කියා සිටියේය. තමන් යුධ හමුදාපතිවරයාව සිටි සමයේදී සුරේෂ් සලේ මහතාව බුද්ධි අංශ තනතුරුවලින් ඉවත් කර තිබුණද, පසුව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඔහුව යළිත් ආරක්ෂක අමාත්‍යාංශයට අනුයුක්ත කරගැනීමට කටයුතු කළ බව ද සරත් ෆොන්සේකා මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.